රිය අනතුර ගැන උත්තර දෙන්න පාඨලී අධිකරණයට (වීඩියෝ)

දෙසැ 16, 2019

    2016 වසරේ තරුණයකු රිය අනතුරකට භාජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදේශ ගමන් තහනමකට භාජනය වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ඔහුගේ රියදුරු දිළුම් තුසිත කුමාර යන අය සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් පෙබරවාරි මස 14 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද කොළඹ අපරාධ කොට්ඨාශයට නියම කළේය.

    පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමක් මත මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

    එම අවස්ථාවේ පාඨලී චම්පික රණවක මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

    එහිදී පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා කරුණු දැක්වීම ආරම්භ කළ අවස්ථාවේදී පොලිසියෙන්ද කරුණු විමසීමක් සිදු කළ මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ සදහන් කර සිටියේ මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස පාඨලී චම්පික රණවක මහතා සහ ඔහුගේ රියදුරු නම් කර නොමැති බවයි.

    කෙසේ වෙතත් වැඩිදුරටත් කරුණු දැක්වූ චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා 2016 වසරේ සිදුවූ රිය අනතුරක් සම්බන්දයෙන් තම සේවාදායකයාගේ රියදුරා වරද පිළිගෙන එම නඩුව අවසන් කර තිබෙන බව සඳහන් කළේය.

    එම රිය අනතුර පිළිබඳව තොරතුරු වසන් කළ බවට චෝදනා කරමින් පොලිසිය නැවතත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් කළ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක මෙත්තානන්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත කුමාර නමැත්තාගේ ගාල්ල, ඉමදූව ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් එහි සිටි එම රියදුරාගේ බිරිඳත් අවුරුදු එකහමාරක දියණිය සහ ඔහුගේ මව ද පැහැරගෙන බත්තරමුල්ල ප්‍රදේශයට රැගෙන විත් තිබෙන බව සඳහන් කර සිටියි.

    මේ නිසා තමා සේවාදායකයා තුළ දැඩි භීතියක් හටගෙන තිබෙන බව සදහන් කළ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා මේ පිළිබඳව සටහන් කරගන්නා ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු සැකකරුවන් වශයෙන් මේ දක්වා නම් කර නොමැති බව සඳහන් කර සිටියා.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍යව සිටින තුසිත කුමාර නැමැත්තාගේ ගාල්ල ඉමදුව පිහිටි නිවසට නිලධාරීන් කණ්ඩායමක් ගිය බවත් එම අවස්ථාවේ අදාළ පුද්ගලයා නිවසේ නොසිටි බව සඳහන් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ අනුව ඔහුගේ බිරිඳගේ දුරකථනයෙන් තුසිත කුමාර නමැත්තාට බිරිඳ විසින් කතා කළ බව සඳහන් කළාය.

    එම අවස්ථාවේ තුසිත කුමාර නැමැත්තා බත්තරමුල්ල ප්‍රදේශයේ සිටින බවට ප්‍රකාශයක් කර ඇති බවත් එම පුද්ගලයා සිටින ස්ථානය පෙන්වා දීම සඳහා බිරිඳ සහ මවත් සිය කැමැත්තෙන්ම තම නිළධාරීන් සමග පැමිණි බව සඳහන් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මෙහිදී කිසිදු ආකාරයක පැහැර ගැනීමක් සිදු නොවූ බව අවධාරණය කළේය.

    එම කාන්තාවන් මේ වන විට ගාල්ලේ පිහිටි ඔවුන්ගේ නිවසේ සිටින බව සඳහන් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඔවුන් කොළඹට රැගෙන ආ බව තමන් පිළිගන්නා බවත් රැගෙන ආවේ ඔවුන්ගේ සිය කැමැත්තෙන් විමර්ශන වලට සහාය දැක්වීමට ඉදිරිපත් වීම නිසා බවත් අවධාරණය කළේය.

    එම කාන්තාවන් කොළඹට රැගෙන එනු ලැබුවේ නීතීඥවරුන් සඳහන් කරන ආකාරයට 64-8736 දරන වාහනයෙන් නොව caq 0532 දරන වාහනයෙන් බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සදහන් කර සිටියා.

    ඉන් අනතුරුව මෙම කරුණු සටහන් කරගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ මෙය තමන්ගේ අධිකරණය ඉදිරියේ පවතින තවත් එක් නඩුවක් පමනක් බවයි.

    මෙම නඩුවට අදාළව දණ්ඩ නීති සංග්‍රහය යටතේ පැවරී ඇති බලතල අනුව ඉදිරි විමර්ශන සිදුකරන ලෙස පොලීසියට උපදෙස් දුන් මහේස්ත්‍රාත්වරිය එහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් පෙබරවාරි මස 14 වනදා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසද පොලීසියට නියෝග කළේය.

    මෙහිදී පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා කරුණු දක්වමින්ම ම සේවාදායකයා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම කිසියම් අවස්ථාවක ලිහිල් කර ගැනීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව සදහන් කළේය.

    මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ එවැනි ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නම් සාමාන්‍ය පටිපාටිය යටතේ එය සිදු කිරීමට හැකියාව පවතින බවයි.

    2016 වසරේ සන්දීප සම්පත් නැමැති තරුණයකු රාජගිරිය ප්‍රදේශයේ දී බරපතල රිය අනතුරකට ලක්කොට ඒ පිළිබඳව තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

    Last modified on සදුදා, 16 දෙසැම්බර් 2019 19:58

    Latest News