ඇමති අමරවීර සුර්ය බලශක්ති ත්‍රිරෝද රථයෙන් යාමට අත්හදා බලයි

දෙසැ 13, 2019

    වසර 2050 වනවිට රටේ සමස්ත බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ශ්‍රී ලංකා සුනිත්‍ය ශක්ති අධිකාරියේ ජාතික බලශක්ති සම්මන්ත්‍රණ හා නවෝත්පාදන සංසදයට සහභාගි වෙමින් අමාත්‍යරවයා මෙම අදහස් පළ කළේය. එය අද (13) පස්වරුවේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණ.

    ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සංසදය සදහා නවෝත්පාදන හදුන්වාදෙන්නන්, බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, පර්යේෂකයන් මෙන්ම බලශක්ති කලමණාකරුවන් විශාල පිරිසක් සහභාගි වේ. න්‍යායික මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් යුත් මෙම වැඩසටහන, දෙදිනක් පුරා පැවැත්වේ.

    සූර්ය බලයෙන් ක්‍රියා කල හැකි ත්‍රීරෝද රථ නියමු ව්‍යාපෘතියක් මෙරටට හදුන්වාදීම අද සිදුකෙරින. මෙම නියමු ව්‍යාපෘතිය කොරියානු රජය සමග ඒකාබද්ධ වුවකි.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා.......

    "දෛනිකව වර්ධනය වන විදුලිබල හා බලශක්ති ඉල්ලුම සපුරාලීම පිණිස, මේ වනවිට රටේ පවතින දේශීය ප්‍රභවයන් ප්‍රමාණවත් වන්නේ නැහැ. මෙම ඉල්ලුම සපුරාලීම පිණිස මේ වනවිට පොසිල ඉන්ධන ආනයනය සිදුකරනවා. මේ වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් විදේශයන් වෙත ගෙවීමට සිදුවී තිබෙනවා. මෙම ගැටලුවට තිරසාර විසදුමක් හැටියට, විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ දිශානතිය පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමුකිරීම වඩාත් වැදගත්. මේ වෙනවිටත් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවි ඇති අතර ඒ සම්බන්ධයෙන් වන ව්‍යාපෘතීන් රැසකට යොමුවී තිබෙනවා. එහි එක් පියවරක් වශයෙන් අනාගතයේදී මගී ප්‍රවාහන ක්ශේත්‍රයේ සුවිශාල විප්ලවයක් ඇති කිරීමට සමත්, සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන් ක්‍රියා කල හැකි ආකාරයේ ත්‍රීරෝද රථ නියමු ව්‍යාපෘතියක් මෙරටට හදුන්වාදීමට කටයුතු කිරීම සතුටට කරුණක්. එමෙන්ම වසර 2050 වනවිට රටේ සමස්ත විදුලිබල නිෂ්පාදනයෙන් 100%ක්ම පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට කටයුතු කරනවා" යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය.

    Last modified on සිකුරාදා, 13 දෙසැම්බර් 2019 17:49

    Latest News