රූපවාහිනි සහ ගුවන් විදුලි ගීත ප්‍රචාරයට කතෘ භාග ගෙවිම ජනවාරි 01 වැනිදා සිට

දෙසැ 13, 2019

    ගුවන්විදුලි සහ රූපවාහිනි මාධ්‍යයෙන් ගීත ප්‍රචාරයේදි කතෘ භාග ගෙවිම ලබන වසරේ ජනවාරි පළමු වෙනිදා සිට ක්‍රියාත්මක කිරිමට අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී යෝජනා කරයි.

    එ අනුව ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන ගීතයකට ජනවාරි 01 දා සිට 2022 දක්වා රුපියල් 30ක කර්තෘ භාගයක් ගෙවිය යුතුවේ.  2022 සිට එම මුදල රුපියල් 50 දක්වා වැඩි විය යුතු බව ආංශික අධික්ෂණ කාරක සභාව යෝජනාකර සිටි. ගීතයක් රූපවාහිනීයෙන් විකාශය වීමේදී රුපියල් 100ක් ජනවාරී 01 දා සිට ගෙවිය යුතු බවත් එය 2022 සිට රුපියල් 250 දක්වා වැඩිවිය යුතුවේ.

    කාරක සභාව දෙසැම්බර් 20 වෙනිදා රැස්වී එම සියළු යෝජනාවන් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට බලාපොරොත්තුවේ. එයට අදාල පනත් කෙටුම් පත ජනවාරි 03 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාරක සභාව එකඟත්වයකට එළඹියේය.

    ඒ අනුව 2011 ගැසට් නිවේදනය අනුව ගුවන්විදුලි මාධ්‍ය සඳහා රුපියල් 10ක් සහ රූපවාහිනී මාධ්‍ය සඳහා රුපියල් 30ක්ද වශයෙන් වූ ගෙවීමේ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.

    කිසියම් නිර්මාණකරුවෙකුට අයත් ගීතයක් නිසි අවසරයකින් තොරව යූ ටියුබු ඔස්සේ විකාශය වන්නේ නම් ඒ වෙනුවෙන් ලැබෙන පැමිණිලි අනුව යූ ටියුබ් අන්තර්ජාතික පරිපාලන අඩවිය වෙත පැමිණිලි කිරිමේ හැකියාව ආංශික අධීක්ෂණ කාරක සභාවට ඇති බව එහි සභාපතිවරයා විසින් දැනුම් දෙන ලදී.

    කිසියම් නාලිකාවක් විසින් නිර්මාණකරුවන් වෙත කර්තෘ භාගය නොගෙවන්නේ නම් එම නාලිකා වලට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව නිර්මාණ අයිතිකරුවන් වෙත ඇති බවත් කමිටුවේදී අනාවරණය විය. මේ වන විට බලාත්මක 2019 ජූනි 17 දරන බුද්ධිමය දේපළ සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය මගින් නිර්මාණකරුවන්ට එම අයිතිය හිමිවේ. මෙම ගෙවීමේ ක්‍රියාවලිය නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතු බව කාරක සභාවේදි යෝජනා ඉදිරිපත් විය.

    නිර්මාණකරුවන් සිය නිර්මාණ සම්බන්ධව අන්තර්ජාතික ගිවිසුමකට එළඹෙන්නේ නම් එයට පෙර බුද්ධිමය දේපල කාර්යංශය දැනුවත් කිරීම ගැන ද කාරක සභාව දැනුම් දේ. එමගින් අදාල ගිවිසුම් වල නෛතික පසුබිම පිළිබඳ නිර්මාණ කරුවන් වෙත අවශ්‍ය නීති උපදේශ ලබාදීමේ හැකියාව හිමිවේ.

    එක් හැඬවීම් නාදයක් (රිංග් ටෝන්) බාගත කිරීමක් සඳහා පාරිභෝගියෙක්ගෙන් රුපියල් 30ක මුදලක් පමණක් අය කීරීමට දුරකතන සමාගම් එකඟවි තිබේ. එයින් අන්තර්ජාල අන්තර්ගත සැපයුම් කරුවන් වෙත දුරකථන සමාගම් විසින් ගෙවන 30% න් 50%ක් වත් අදාල නිර්මාණයේ හිමිකරුවන් වෙත ලබා දිය යුතු බවටද කමිටුවේදී යෝජනා විය.

    සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි තුරෙයි රත්නසිංහම් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය, ජාතික බුද්ධිමය දේපළ කාර්යංශයේ නිලධාරීන්, ගායක ගායිකාවන්, සංගීතවේදීන් සහ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය වෙනුවෙන් රූපවාහිනි සංස්ථාවේ නියෝජිතයන් මෙන්ම ඩයලොග්, මොබිටෙල්, හච්,එයාර්ටෙල් ඇතුළු දුරකථන සමාගම් නියෝජිතයන්ද සහභාගී වූහ.

    Latest News