ප්‍රවාහන ක්‍ෂේත්‍රයට ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් සකස් කරනවා - අමාත්‍ය අමරවීර

ජූනි 23, 2020

    ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති උත්සවයක දී අමාත්‍යවරයා මේ කියා සිටියේය.

    රටක් දියුණුව කරා ගෙනයාමේ දී පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමේ අවශ්‍යතාවය පවතින බවත්, මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට සහ විධිමත් කිරීමටත්, පවතින වාහන තදබදය අවම කිරීමටත් මෙන්ම මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම සැළැස්මකට අනුව කටයුතු කළ යුතු බවත් අමාත්‍ය අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මඟී ප්‍රවාහන සේවය සදහා පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වා දීම පිළිබඳව නිල වශයෙන් සනිටුහන් කිරීමේ වැඩසටහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත් විණ.

    ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) හා ලංකා ක්ලියර් ආයතනය එක්ව මෙම වැඩසටහන පැවැත්විණ.

    ප්‍රවාහන ක්‍ෂේත්‍රයට නව තාක්ෂණය හඳුන්වා දීම යුගයේ අවශ්‍යතාවයක් වන අතරම බස් රථ හිමියන්ගේ සහ මඟීන්ගේ ඉල්ලීම්වලට අනුව මෙම නව වැඩපිළිවෙල කඩිනම් කිරීමේ අවශ්‍යතාවය ද දැඩිව පැන නැඟුනු බව මෙහි දී ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යවරයා විසින් සඳහන් කළේය.

    එහි දී ප්‍රවාහන අමාත්‍යවරයා මෙසේ ද අදහස් දැක්විය..

    “මෙම නව කාඩ්පත් ක්‍රමය හඳුන්වාදීමත් සමඟ මෙරට ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරනු ඇතැයි මම විශ්වාස කරනවා, මෙම ක්‍රමය මඟින් ලංගමට ලාභ වන අතර බස්රථ හිමිකරුවන්ටත් කිසියම් සහනයක් ලබා දීමටත් එමඟින් ඉතාමත් පහසුවක් විය හැකියි. COVID – 19 වසංගත තත්ත්වය නිසා මුදල් භාවිතා කිරීම හා ගණුදෙනු සම්බන්ධයෙන් ජනතාව විශාල ගැටළුවකට මුහුණ දුන්නා. එහෙත් මෙම හඳුන්වාදෙන කාඩ් පත භාවිතයට ගැනීමෙන් එම ගැටලුවට විසඳුම් ලැබෙනවා. එමෙන්ම මඟීන්ගේ ඉතිරි මුදල් ලබා ගැනීමේ ගැටලුවට ද මෙමඟින් පිළියම් ලැබෙන අතර ඒ වෙනුවෙන් සේවය කරන නිළධාරීන් ට ද ගෞරවනීය ලෙස තම සේවය ලබා දීමට හැකි වෙනවා.

    ලංගම බස් රථවල සේවා කරන රියදුරු සහ කොන්දොස්තර මහත්වරුන් හට කිසිඳු අගතියක් හෝ පාඩුවක් සිදු නොවන ආකාරයකින් කටයුතු කිරීමටත්, එමෙන්ම පෞද්ගලික අංශයේ සිටින සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීමටත්, ඔවුන්ට දීමනාවක් ලබා දීමටත්, කටයුතු කරනවා.”

    කෙසේ වුව ද, රට ක්‍රමානුකුලව යථාතත්ත්වයට පත්වෙමින් තිබෙන මොහොතේ මෙරට ප්‍රවාහන ක්‍ෂේත්‍රය දියුණු කිරීම සදහා විශාල කාර්යයභාරයක් සිදු කළ යුතු ව තිබෙන බවත්, පවත්නා තත්ත්වය හේතුවෙන් ගාස්තුවල වැඩි කිරීමක් සිදු නොකරන බවත්, පැවසූ මහින්ද අමරවීර මහතා බස්රථ සදහා ලක්‍ෂ 03 ක ණය මුදලක් සහන ක්‍රමය යටතේ ලබා දීමටත්, low floor බස් රථ ධාවනය කරන්නේ නම් ඒ සදහා 4% පොළියකට ණය ලබා දීමට කටයුතු කරන බවත් පැවසුවේය.

    මෙම හඳුන්වාදීමට නියමිත පෙරගෙවුම් කාඩ්පත මඟින් ඕනෑම බස් රථයක / දුම්රියක යාමේ දී භාවිතා කළ හැකි වන අතර, මාරු සල්ලි සම්බන්ධ ගැටළු නිරාකරණය වීම යනා දී කරුණු රාශියක් හේතුකොට ගෙන මෙම නව වැඩපිළිවෙල හඳුන්වා දීමට පියවරගෙන ඇත.

    ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශ ලේකම් ගාමිණි සෙනරත්, ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක යන මහත්වරුන් ද අදහස් දැක්විය. මෙම අවස්ථාව සදහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව, ප්‍රවාහන අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන්, ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉහළ නිළධාරීන්, ඩිපෝ කළමණාකරුවන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.

    Latest News