වරායේ කන්ටේනර් ස්කෑන් මිනිස් සිරුරට බලපෑමක් නොවේ - වරාය අධිකාරිය (වීඩියෝ)

දෙසැ 11, 2019

    වරාය බහාලුම් පරීක්‍ෂා කිරීමට ස්ථාපනය කෙරුණු නව ස්කෑනර් යන්ත්‍රවලින් මිනිස් සිරුරට කිසිදු අහිතකර බලපෑමක් නැතැයි වරාය අධිකාරිය පවසයි.

    අදාළ යන්ත්‍ර දේශීය හා ජාත්‍යන්තර පිළිගත් ආයතන මගින් පරීක්‍ෂාවට ලක් කිරීමෙන් අනතුරුව, මෙම සහතිකය ලබාදී ඇති බව වරාය අධිකාරිය කියා සිටී. කොළඹ වරායේ බහාලුම් කන්ටේනර් පරීක්‍ෂා කිරීමට නව ස්කෑනර් යන්ත්‍ර 4ක් මෑතකදී ස්ථාපනය කෙරිණ. ඒවා මිනිස් සිරුරට අහිතකර බව පවසමින්, කන්ටේනර් රථ රියදුරන් විරෝධය පළකළේය. ඒ අනුව, පරමානු බලශක්ති නියාමන කොමිසම, මොරටුව විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන කිහිපයකින් සමන්විත තාක්‍ෂණික කමිටුවක් මගින් මෙන්ම රැපි ස්කෑන් නමැති ජාත්‍යන්තර සමාගම විසින් මෙම යන්ත්‍ර පරීක්‍ෂා කරනු ලැබීය.

    එහිදී අදහස් දැක්වූ අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා....

    “ඇත්තටම එහි ප්‍රමාණ තාක්‍ෂණ තත්වය, සෞඛ්‍ය, තර්ජනාත්මක වශයෙන් බලපානවානම් එය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල වන්නෙත් නැහැ. පරමානුක බලශක්ති අධිකාරියේ නියාමන කොමිසන් සභාවේ සහතික ලබාදෙන්නෙත් නැහැ. ශ්‍රී ලංකාවට රැගෙන එන මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදය වැළැක්වීමේ කටයුතු, භාණ්ඩ ඉක්මණින් මුදා හැරීමේ කටයුතුවලට අපි අපේ සහයෝගය ලබාදිය යුතුයි. මේ ජාතික ව්‍යාපෘතියක්. මම ඉල්ලා සිටිනවා මේ දුර්මතවලින් බැහැරව මේ කාර්යයට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න කියලා“ යැයි සුනිල් ජයරත්න මහතා පැවසීය.

    මෙම ස්කෑන් යන්ත්‍ර මගින් කන්ටේනර් තදබදයක් ඇතිවන බව පවසමින්, පසුගිය 5 වැනිදා ද කන්ටේනර් රථ රියදුරන් චෝදනා කළ අතර, ඒ පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද වරාය පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 11:37

    Latest News