තරුණයින් අතර දුම්කොළ හා මධ්‍යසාර භාවිතය අවම කිරිමට පියවර

දෙසැ 11, 2019

    තරුණයින් අතර දුම්කොළ හා මධ්‍යසාර භාවිතය අවම කිරිම සඳහා බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් පවසයි.

    එමෙන්ම දුම්කොළවලින් තොර කළාප බිහි කිරිමට අප රට ගත් ක්‍රියාවලියට අනෙකුත් රටවල් ද සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතු බව ආමාත්‍යතුමිය සඳහන් කරයි.

    ඊයේ(10) බෝනොවන රෝග සහ මානසික සෞඛ්‍ය පිළිබදව ඕමානයේ මස්කට් නගරයේ පැවැත් වූ සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය විසින් මෙසේ සඳහන් කර ඇත.

    දෙසැම්බර් 09 සිට 12 දින දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බෝනොවන රෝග සහ මානසික සෞඛ්‍ය පිළිබදව සැසිවාරයක් ඕමානයේ මස්කට් නගරයේ දී පැවැත් පවත්වයි. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය විසින් දේශණයක් සිදු කරන ලදි.

    සැසිවාරය අමතමින් අදහස් දැක් වූ අමාත්‍යතුමිය...

    “අද අප සියලු ‍දෙනාටම‍ වැදගත්වන කරුණක් පිළිබදව කථා කිරීමට ලැබීම ගැන සතුටු ‍වනවා. ශ්‍රී ලංකා රජය ‍බෝනොවන රෝග පාලනය කිරිමට කටයුතු කිරිම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන කර්තව්‍යයක් ලෙස සළකනවා. අද පවතින ජීවන රටාව සමග ‍බෝ නොවන රෝග තුරන් කිරීම හා පාලනය කිරීම ඉතාම අසීරු කරුණක් බවට පත් වී තිබෙනවා. ‍මෙම රෝග පාලනය කිරීමට අවශ්‍ය කටයුතු කිරීම සෑම පුරවැසියෙකුගේම, රජයේ සහ ‍පෞද්ගලික අයතනයකම යුතුකමක් සහ වගකීමක් වෙනවා. ‍අප හමුවේ ඇති මෙම අභියෝගය නිසාම 2016 වසරේ සිට 2020 ‍වසර දක්වා බෝනොවන රෝග තුරන් කිරීම සදහා අප අමාත්‍යාංශය විසින් ක්‍රියාකාරි සැළැස්මක් නිර්මාණය කර තිබෙනවා.”

    “එමෙන්ම දුම්කොළ හා මත්ද්‍රව්‍ය භාවිතය රටෙහි සංවර්ධනයට ඉතාමත් අයහපත් බලපෑමක් ඇති කරන බව ශ්‍රී ලංකා රජය වශ‍ෙන් අප පිළින්නවා. ජාතික දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය (NATA) පිහිටුවමින් ‍මෙම දුම්කොළ සහ මත්ද්‍රව්‍ය භාවිත‍ෙන් අතිවන අහිතකර බලපෑම් සහ භාවිතය පාලනය සදහා කටයුතු කරමින් පවතිනවා.”

    “දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතයෙන් ‍තොර රටක් බවට පත්කිරිමට අග්නිදිග ආසියාවේ කටයුතු කළ ප්‍රථම රට වශයෙන් ද ශ්‍රී ලංකාව හැදින්වෙනවා. 2016 ‍පෙබරවාරි මාසයේ අප විසින් එ් සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ රාමුව (WHO FCTC) ගිවිසුම අත්සන් කිරීමට පියවර ගත්තා.”

    “විද්‍යාත්මක සාධක පදනම් කර ගනිමින් සෘජු හා වක්‍ර දුම්කොළ හා මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය, එම අයතනවල අනුග්‍රහයන් ලබාගැනීම සම්පුර්ණයෙන් නතර කළ ඉතා සුළු ප්‍රමාණයක් වූ රටවල් අතර, එක් රටක් වන්නේ ද ශ්‍රී ලංකාවයි. දුම්බීම ඇතුලු මත් ද්‍රව්‍ය භාවිතය සදහා අවම වයස අවුරුදු 21 දක්වා ඉහළ නැංවීම, පාසල් අවට මිටර් 100 ඇතුළත දුම්වැටි අලෙවිය තහනම් කිරීම වැනි සාධනීය පියවර රැසක් ද ශ්‍රී ලංකා රජය විසින් ‍ගෙන තිබෙනවා. දුම්කොළ වලින් තොර කළාප බිහි කිරීමට ජාතික දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය (NATA) හා සම්බන්ධව කටයුතු කොට තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ශ්‍රී ලංකාව අනෙක් රටවල් ද ‍මෙම ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම පිළිබදව ‍පෙරමුණ ගත යුතු වනවා.”

    “ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය පාලනය සදහා ජාතික ප්‍රතිපත්තිය 2015 දී හදුන්වා ‍දෙන ලද අතර. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ‍සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන ලද සමීක්ෂණයට අනුව දුම්කොළ භාවිතය නිසා ජාතික අර්ථිකයට රුපියල් බිලියන 200 ක් අහිමි වන බව වාර්තා වනවා.”

    “තරුණයින් ‍දුම්කොළ හා මධ්‍යසාර භාවිතය අවම කිරිම සදහා බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. දුම්කොළ සහ මත්ද්‍රව්‍ය භාවිතය අඩුවීමේ ප්‍රවණතාවයක් දැනට තරුණ ප්‍රජාව තුල පවතිනවා. අනෙකුත් රටවල්වලට ද අප විසින් ක්‍රියාත්මක කරන ලද ලද ඉහත සදහන් සේවාවන් පිළිබදව නිරීක්ෂණ කරන‍ ‍ලෙසට ආරාධනා කරන අතර, අප ලබාගත් ජයග්‍රහණ පිළිබදව අප රටක් වශයෙන් සතුටු වනවා.” යනුවෙන් වැඩිදුරටත් පැවැසීය.

    එමෙන්ම සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය ඕමාන් රජයේ සෞඛ්‍ය ලේකම්වරයා වන ආචාර්ය මොහොමඩ් ස්යිෆ් අල් හොස්නි (Dr. Mohammed Saif Al Hosni) මහතා සමග සාකච්ඡාවක් ඊයේ (10) පැවැත්විය. එහිදී අමාත්‍යවරිය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රෙයේ පුහුණූ ශ්‍රමිකයන් සදහා රැකියා අවස්ථාවන් ලබාදෙන ලෙස ඕමාන් රජයේ සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලීමක් සිදු කරන ලදි. එයට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ දන්ත සෞඛ්‍ය අංශයේ පුහුණූ සේවකයින් සදහා වැඩි වැටුප් සහිත රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කරන බවයි. ඕමානයේ ශ්‍රී ලංකා තානාපති ඕමාර් ලෙබ්බේ අමීරාජ්වාඩ් (Omar Lebbe Ameerajwad) මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත රසියා පෙන්ඩ්සේ (Dr Razia Pendse) මහත්මිය ද ඒ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News