19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසියට සුදානම්..... ජනපති ගෝඨාභය

දෙසැ 01, 2019

    පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය බහුතරය ලැබුණහොත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ එය අසාර්ථක එකක් බවයි. ඉන්දියාවේ ආරක්‍ෂාව අනතුරට හෙලන කිසිවක් තමන්ට සිදු කිරීමට අවශ්‍ය නොවන බව, ජනාධිපතිතුමා අවධාරණය කරයි. ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් දෙකක් සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේය. 

    ඉන්දියාවේ ද හින්දු හා ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත් දෙක සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වූ බව ජනාධිපතිතුමා සිය ට්විටර් ගිණුමේ ද මෙලෙස සටහනක් තබා තිබිණ. ද හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනී සුභාසිනි හෙයිඩර් එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් විමසා සිටියේ ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා ඉහළ තලයකට රැගෙන එන්නේ කෙසේද යන්නයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියා සිටියේ තමන්ට කළ හැකි දේ අවංකවම නවදිල්ලි පාලනයට ප්‍රකාශ කිරීමට තමා අපේක්‍ෂා කරන බවයි. හම්බන්තොට වරාය ගිවිසුම යළි සාකච්ජා කරන බව ද ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව ද හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනිය එහිදී ප්‍රශ්න කළාය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කළේ උපාය මාර්ගික වශයෙන් වැදගත් හම්බන්තොට වැනි වැදගත් ව්‍යාපෘතිවල පාලනය ශ්‍රී ලංකා රජය සතුවිය යුතු බවයි. චීන ආයෝජනවලට විකල්පයක් අවශ්‍ය නම් ඉන්දියාව, ජපානය, ඔස්ට්‍රේලියාව වැනි රටවලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ යුතු බව ජනාධිපතිතුමා පවසා තිබේ.

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවට වඩා බලය පැවරීමක් සිදුවේවිද යන්න ද හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනිය එහිදී විමසීමක් කළාය. ඊට පිළිතුරු ලබාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියා සිටියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක එකක් බවයි. පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගතහොත් එය අහෝසි කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

    අවසාන වශයෙන් මාධ්‍යවේදිනිය අසා සිටියේ ඔබ සියල්ල සුණුවිසුණු කරන්නා හෙවත් ටර්මිනේටර් ද යන්නයි.

    ඊට මඳක් සිනාසී පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කියා සිටියේ තමා පවුලේ අහිංසකම පුද්ගලයා බවයි. මම යුද හමුදාවට සම්බන්ධ වූ විට පවුලේ උදවිය කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා හමුදාවට සම්බන්ධ වී මා දේශපාලනයට යා යුතු බවයි.

    ද හින්දුස්ථාන් පුවත්පතේ පද්මා-රාඕ-සුන්දර්ජි මහත්මිය සමඟ ද ජනාධිපතිතුමා සම්මුඛ සාකච්ජාවකට එක්වූහ. එහිදී ජනාධිපතිතුමා අවධාරණය කර ඇත්තේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අතීතයේ පැවති අනවබෝධය පසෙකලා ඉදිරියට ගමන් කළ යුතු බවයි. ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා තමන්ට අවංකවම අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී සඳහන් කර තිබේ.

    Last modified on ඉරිදා, 01 දෙසැම්බර් 2019 19:36

    Latest News