සුරක්ෂා රක්ෂණය සඵලදායී ව්‍යාපෘතියක්: අහෝසියක් නැහැ: අධ්‍යාපන ඇමතිගෙන් නිවැරදි කිරිමක්

නොවැ 29, 2019

    සුරක්ෂා රක්ෂණය මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැදගත් ව්‍යාපෘතියක් බවත්, එය අහෝසි කිරීමට තීරණය කොට නැතැයි අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    ජනපති ඇතුළු අමාත්‍ය මණ්ඩලය මෙම රක්ෂණය සඵලදායී ව්‍යාපෘතියක් බවට හඳුනාගෙන ඇතත් ක්‍රියාත්මක දුර්වලකම් සහ අනීතික ක්‍රියාකාරකම් දුරු කොට උපරිම ප්‍රතිලාභ හිමිවනසේ ක්‍රියාත්මක කළ යුතු බවට තිරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    මිලියන හතරකට (4) අධික පාසල් දරුවන් සඳහා ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණය අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇතැයි (29) ඇතැම් ජනමාධ්‍යවල සහ ඇතැම් සමාජ මාධ්‍යවල අද පළවී ඇති වාර්තා මුළුමනින්ම සත්‍යයෙන් හා වගකීමෙන් තොර බවත් එහි සඳහන් වේ.

    අධ්‍යාපන ඇමතිගේ නිවේදනය

    “සුරක්ෂා” රක්ෂණය රක්ෂිතයි

    මිලියන හතරකට (4) අධික පාසල් දරුවන් සඳහා ක්‍රියාත්මක වූ සුරක්ෂා රක්ෂණය අහෝසි කිරීම සඳහා ආණ්ඩුව තීරණය කොට ඇතැයි අද (29) දින ඇතැම් ජනමාධ්‍යවල ද ඇතැම් සමාජ මාධ්‍ය ජාලා තුළ ද පළ වී ඇති වාර්තා මුළුමනින්ම සත්‍යයෙන් හා වගකීමෙන් තොර බව අවධාරණය කරන්නෙමි.

    මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැදගත් ව්‍යාපෘතියක් ලෙස සුරක්ෂා රක්ෂණය හැඳින්වීමට මා කිසිවිටෙක නොපැකිළෙමි. අමාත්‍යධුරයේ වගකීම් භාරගත් මොහොතේ ජනමාධ්‍ය හමුවේ ද මම එය අවධාරණය කළෙමි.

    අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මාගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තීරණය කරනු ලැබුවේ මෙම රක්ෂණය සඵලදායී ව්‍යාපෘතියක් වුවද ක්‍රියාත්මක පාර්ශවයේ දී සිදු වූ සියලු දුර්වලකම් සහ අනීතික ක්‍රියාකාරකම් දුරු කොට ජාතියේ දරුවනට උපරිම ප්‍රතිලාභ හිමිවන සේ ක්‍රියාත්මක කළ යුතු බවයි.

    ඒ අනුව, ජාතික වගකීමක් ලෙස කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතබමින් මෙම සිසු රක්ෂණය ක්‍රියාත්මක කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය භාරගනු ලබන්නේ ගෞරවයෙනි. මහත් වූ විශ්වාසයෙනි.

     

    ඩලස් අලහප්පෙරුම

    අධ්‍යාපන අමාත්‍ය

    2019 - 11 - 29

    Latest News