"COVID-19 අභියෝගය ජය ගැනීමට රටම එක්ව දරන පරිශ්‍රමය පලුදු කරන්න එපා" - අමාත්‍ය ඩලස්

අප්‍රේ 05, 2020

    COVID-19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රටක් වශයෙන් දරන පරිශ්‍රමය පලුදු කිරීමෙන් වැළකීම සියලු දෙනාගේ වගකීම බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

    විශේෂයෙන්ම රටේ නායකයාගේ දූරදර්ශී තීන්දු තීරණ හා ක්‍රියාමාර්ග, සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල අතිශය කෘතවේදී පරිශ්‍රමය සහ වගකීම් සහගතව සමාජ හිතකාමී අයුරින් කටයුතු කරන ජනතාවගේ සුවිශේෂ දායකත්වයත් උපයෝගී කරගනිමින් මෙම ව්‍යසනකාරී තත්වයෙන් රට මුදවා ගැනීමට කටයුතු කරන මේ මොහොතේ සියලු පාර්ශවයන්හි වගකීම වන්නේ එම වැඩපිළිවෙළ සමඟ ඒකාත්මික වීම බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    COVID-19 රෝග ව්‍යාප්තිය වැළැක්වීම හා පාලනය කිරීම වෙනුවෙන් පක්ෂ විපක්ෂ සියළු දේශපාලන නියෝජිතවරුන් ගේ සහභාගීත්වයෙන් පසුගිය දා (03) මාතර දිස්ත්‍රික්කයේ පැවති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන කංචන විජේසේකර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතවරුන් රැසක් එක්ව සිටියහ.

    dulus_01.jpg

    සියලු දෙනා සාමූහිකව හා සහයෝගයෙන් පවත්නා තත්ත්වය පිළිබඳ බුද්ධිමත්ව සැලකිල්ලට ගනිමින් කටයුතු කළ යුතු බව ද අවධාරණය කරන අමාත්‍යවරයා, එළඹෙන විසි වනදා සිට දරුවන්ට සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය සඳහාම වෙන් වන රූපවාහිනී නාලිකා දෙකක් ආරම්භ කිරීමට ද රජය පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.

    මතුව ඇති ව්‍යසනකාරී තත්ත්වය හමුවේ මුළු මහත් ලෝක ප්‍රජාවටම පොදුවේ මුහුණ දෙන්නට සිදුවන ආහාර අර්බුදයට රටක් වශයෙන් අපද විසදුම් සෙවිය යුතු වන බවත් මේ සඳහා ගම් මට්ටමින් පළාත් පාලන සේවා ආයතනයන්හි සහයෝගය ලබා ගනිමින් වගා සංග්‍රාමයක් ආරම්භ කිරීමට රජය මේ වන විටත් කටයුතු යොදා ඇති බවද එළඹෙන අප්‍රේල් නමවැනිදා ජාතික මට්ටමින් රටපුරා ගෙවතු වගාවට නොමිලේ බීජ ලබා දීම ඒ අනුව ක්‍රියාවට නංවනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    Latest News