දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාවට ගත් ක්‍රියාමාර්ග ගැන අසත්‍ය ප්‍රචාර පතුරවන්න එපා...

මැයි 22, 2020

    පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් බලධාරීන් සහ ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු වගකිවයුකු සියලු පාර්ශව සමග එක්ව ක්‍රියාවට නංවමින් සිටින ජාතික වැඩපිළිවෙළ ගැන නිසියාකාරව විමසා නොබලා, ඇතැම් පිරිස් විසින් සමාජය නොමගයවනසුළු අසත්‍ය ප්‍රචාර ගෙනයාම හෙළා දකින බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

    එකිනෙකා නියෝජනය කරන්නා වූ දේශපාලන පක්ෂය, වෘත්තීය සමිතිය කවරක් වුවත් මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක දී දරුවන් සම්බන්ධ ව මවක, පියෙකු මෙන් ඉතා සංවේදී ව, විමසිලිමත්ව හා නිවැරදිව කටයුතු කරන ලෙස අමාත්‍යවරයා සඳහන් කරයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කොරෝනා හදිසි තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් ලේකම්කාර්යාලයේ අද (22) පැවති හමුවකට එක්වෙමින්.

    Covid 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටම අභියෝගයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේ රජය පාසල් දරුවන් හෝ ඔවුන්ගේ දෙමව්පියන් අපහසුතාවට ලක්කිරීමට කිසිසේත් කටයුතු නොකරන බවත්, පාසල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ස්ථාපනය කිරීමේ දී දෙමව්පියන්ට අනවශ්‍ය බරක් පැටවීමට පියවර ගෙන ඇති බවට ඇතැම් වෘත්තීය සමිති නියෝජිතයන් විසින් ගෙන යන වැරදි මත අතිශයින්ම සාවද්‍ය බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    නැවත පාසල් ආරම්භ කිරීමට තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් ඒ සඳහා සුදුසු පසුබිමක් රට තුළ ගොඩනැගී ඇති බවට ලබාදෙන පූර්ණ තහවුරුවකින් පසුව පමණක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    සෑම පාසලකටම ශරීර උෂ්ණත්ව මැන බැලීමේ උපකරණ, අත් සේදීමේ සින්ක්, ගිලන් කාමරයක් බැගින් ලබාදීමට රජය පියවර ගන්නා බවත්, ඒ සඳහා දෙමව්පියන්ගෙන් කිසිදු මුදලක් ලබා නොගන්නා බවත් පැවසීය.

    මේ සඳහා සිසු දරුවන් 200ට අඩු සෑම පාසලකට ම රුපියල් 30,000/-ක් බැගින් ලබා දීමට පියවර ගන්නා බවත්, දිවයින පුරා සියලු පාසල් වෙත මෙම සෞඛ්‍යාරක්ෂණ පහසුකම් සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 680ක් ඇස්තමේන්තුගත කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    Latest News