ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීයි,විශ්වාසනීයයි...ප්‍රොස්පර් බානී

නොවැ 20, 2019

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව, විශ්වාසනීයව හා ක්‍රමවත්ව පැවති බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.

    ඔවුන්ගේ නිරික්ෂණ ඇතුළත් මූලික වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමේ ඊයේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානී ප්‍රොස්පරේ බානී මහතා මේ බව කියා සිටියේය.

    පොදුරාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම පසුගිය 10 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියේය. එතැන් සිට ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ නිරික්ෂණ කටයුතුවල ඔවුන් නිරත විය. තම නිරීක්ෂණ ඇතුළත් පොදුරාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ සම්පූර්ණ වාර්තාව පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරයාට, ශ්‍රී ලංකා රජයට, මෙරට දේශපාලන පක්ෂවලට, මැතිවරණ කොමිෂන් සභාවට හා මහජනතාවට ලබාදීමට කටයුතු කරන බව ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. මැතිවරණයට පෙරත්, මැතිවරණයට පසුවත් සාමකාමී පරිසරයක් පැවති බව ද ඡන්ද පොළ නිලධාරීන්ගේ වෘත්තීය භාවය හා ඔවුන්ගේ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් ද මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම වඩාත් සතුටට පත්වූ බව, මෙහිදී ප්‍රකාශ කෙරිණ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් බවත් ශ්‍රී ලංකාවේ පරිපාලන ක්ෂේත්‍රයට කාන්තාවන් ඇතුළත්වීම පිළිබඳවත් ඔවුන් ප්‍රශංසා කළේය.

    මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදුකළ පැමිණිලි ලබාගැනීමේ ක්‍රියාවලිය, එම ව්‍යුහය, එම යාන්ත්‍රණය, ප්‍රතිඵල ලබාගැනීම, ප්‍රතිඵල බෙදා හැරීම, මාධ්‍ය සමග කටයුතු කිරීම පිළිබඳව ද ඔවුන් සතුටට පත්වුණු බවයි, වැඩිදුරටත් සඳහන් කළේ. ඔවුන් මැතිවරණ කටයුතු සම්බන්ධ නිර්දේශ කිහිපයක් ද ඉදිරිපත් කළේය. මැතිවරණ සටනේ දී විනිවිධ භාවය, වගවීම හා සාධාරණ හා සමබරතාවය, තහවුරු කිරීම සඳහා මැතිවරණ මූල්‍ය කරණය නියාමනය කටයුතු බව එක් නිර්දේශයක්. මීළඟ මැතිවරණයේ දී නෛතික රාමුවක් තුළින් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ස්වාධීන නියාමනයකට ලක් කළ යුතු බව ද ඔවුන් නිර්දේශ කරයි. එකමුතුකම, දේශපාලනය තුළ ගෞරවය හා ඉවසීම තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් පුරවැසියන්ගෙන්, දේශපාලනඥයන්ගෙන් සහ ප්‍රජාවගෙන් දැඩි ඉල්ලීමක් සිදු කෙරේ. එම මාධ්‍ය හමුවට නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානී ඉවෝනා එපී මෙන්සාහ් සහ සහකාර සන්නිවේදන නිලධාරී ටෙම්ටෝපේ මහතා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියේය.

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 10:23

    Latest News