පූජිත් ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු ලබන 03 තෙක් යළි රිමාන්ඩ්

නොවැ 19, 2019

    පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලබන දෙසැම්බර් මස 03 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    බන්ධනාගාර නිලධාරින් විසින් මෙම සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට පමුණුවනු ලැබීය. රහස් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාගේ දුරකථන ඇමතුම් පිළිබඳ විස්තර වාර්තා ලබාගෙන විමර්ශනයක් සිදුකළ බවත් සඳහන් කළේය.

    එම විමර්ශනවලට අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා පාස්කු ඉරුදින එල්ල කළ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහ මිය ගිය සැකකරුවන් සමඟ සම්බන්ධතාවක් පවත්වා නොමැති බවට කරුණු අනාවරණය වී තිබෙන බවද පොලිසිය අධිකරණය හමුවේ දන්වා සිටියේය.

    ඊට අමතරව සැකකරුවන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදුකළ බව සඳහන් කළ පොලිසිය සැකකාර හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නමින් පෞද්ගලිකව හෝ රාජ්‍ය බැංකුවක මෙන්ම මූල්‍ය ආයතන වල ගිණුම් නොමැති බවට කරුණු වාර්තා වී ඇතැයිද සඳහන් කළේය.

    එමෙන්ම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නමින් බැංකු ගිණුම් පහක් පවතින බවට කරුණු අනාවරණය වී තිබෙන බව සඳහන් කළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවද දන්වා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 03 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියම කළේ.

     

    Last modified on අඟහරුවාදා, 19 නොවැම්බර් 2019 11:39

    Latest News