නව ජනාධිපති ලේකම් හා නව ආරක්ෂක ලේකම් පත් කෙරේ (ඡායාරූප)

නොවැ 19, 2019

    ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පත්කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නව පත්කිරීම අද සිදුකරනු ලැබීය. කමල් ගුණරත්න මහතා, පන්නිපිටිය ධර්මපාල හා කොළඹ ආනන්ද යන විදුහල්වල ආදි සිදුවෙක්. පාසල් අධ්‍යාපනයෙන් පසු ආධුනික කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1981 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ කමල් ගුණරත්න මහතා වසර 35ක කාලයක් මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් සේවයේ නිරත විය. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාවේ පළමු ගජබා රෙජිමේන්තුවට අණදුන් සමයේ, එම ඒකකයේ කණිෂ්ඨ නිලධාරියෙකු ලෙස ද කමල් ගුණරත්න මහතා ක්‍රියා කළේය. අනූව දශකයේ හා ඉන් පසුව ක්‍රියාත්මක වූ වඩමාරච්චි, රිවිරැස ඇතුළු හමුදා මෙහෙයුම් රැසකට ද ඔහු සිය වික්‍රමාන්විත දායකත්වය ලබා දුන්නේය. ඒ වෙනුවෙන් වීර වික්‍රම විභූෂණය, රණවික්‍රම ඇතුළු පදක්කම් හා පළදනා රැසකට ද මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා හිමිකම් කියයි. ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස උසස් වීමෙන් පසු ශ්‍රී ලංකාව ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ ප්‍රමුඛ කාර්ය බාරයක් ඉටු කළ 53 සේනාංකයේ සේනාංකාධිපතිවරයා වූයේ ද ඒ මහතායි.

    මානුෂීය මෙහෙයුම අවසන් වීමෙන් පසු වන්නි ආරක්ෂක සේනා ආඥාපති, බ්‍රසීලයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති මෙන්ම, යුද හමුදා මූලස්ථානයේ ධුරයන් කිහිපයක් ද ඔහු විසින් හොබවනු ලැබීය. 2016 වසරේ දී යුද හමුදා සේවයෙන් විශ්‍රාම යාමෙන් අනතුරු, රණමග ඔස්සේ නන්දිකඩාල්, උත්තරදේවි ඇතුළු ග්‍රන්ථ කිහිපයක් ලියා පළ කළ මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා, එතැන් සිට මේ දක්වා වියත් මග සංවිධානය සමග එක්ව ක්‍රියාකාරී දේශපාලනයේ නිරත විය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(19) උදෑසන සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර ඇත.

     

    11.jpg

    9.jpg

    Last modified on අඟහරුවාදා, 19 නොවැම්බර් 2019 15:51

    Latest News