නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත් ‍කෙරේ

අගෝ 27, 2024
    නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත්කර තිබෙනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 අගෝස්තු මස 16 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රියර් අද්මිරාල් බානගොඩ ව එම තනතුරට පත්කර තිබෙනවා.

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් කාංචන බානගොඩ වෙත අද (26) දින නිල වශයෙන් භාරදෙනු ලැබුවා.
    බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් කාංචන බානගොඩ, 1989 වර්ෂයේදී 19 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත.
    ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර, 1991 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1993 වර්ෂයේදී ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව හදාරා, දියයට මුහුදු සංග්‍රාමික දීර්ඝ පාඨමාලාව ඉන්දීය නාවික නෞකා වෙන්දුර්තිහී දියයට මුහුදු සංග්‍රාමික පුහුණු පාසල වෙතින් 2000 වර්ෂයේදී හදාරා ඇත.
    සිය වෘත්තීය ජීවිතය ක්‍රමාණුකූලව උසස් වීම් ලබන ජ්‍යේෂ්ඨ නිළධාරියා, 2022 වර්ෂයේ මැයි මස 04 වන දින රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.
    තිස් වසරකට ආසන්න කාලයක් මෙරට වෙලාගෙන පැවති ත්‍රස්තවාදය පිටුදැකීමේ මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකවී සතුරාට එරෙහිව සිදුකල නිර්භීත ක්‍රියා වෙනුවෙන් රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇති රියර් අද්මිරාල් කාංචන බානගොඩ, ඔහුගේ අගනා සේවය හා නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා තිබෙනවා.
     
    unnamed 1

    Latest News