MCC ගිවිසුමෙන් මෙරට ඉඩම් අයිතියක්, බදු දීමක් සිදු නොවන බව අමෙරිකාව පවසයි

නොවැ 06, 2019

    එම්සීසී ගිවිසුම යටතේ, තම රටට ශ්‍රී ලංකාවේ කිසිඳු ඉඩමක අයිතිය හෝ බදු දීමක් සිදු නොවන බව, අමෙරිකා එක්සත් ජනපදය පවසයි. කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අද මේ බව කියා සිටියේය.

    එම්සීසී ගිවිසුම යටතේ අවුරුදු 05ක ප්‍රධාන ආධාර ගිවිසුම ක්‍රියාත්මක කාලය පුරාවටම අරමුදල් සපයන ව්‍යාපෘති සියල්ල ශ්‍රී ලංකාව විසින් අධීක්ෂණයට හා කළමනාකරණයට ලක් කරනු ලැබීමට නියමිත බව එම නිවේදනයේ සඳහන්. අමෙරිකානු ඩොලර් මිලියන 480ක මිලේනියම් චැලේන්ජ් කොපර්ෂන් සංවර්ධන ආධාර ප්‍රදානය අනුමත කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අමෙරිකා එක්සත් ජනපදය අගය කරන බව එහි දැක්වේ. මෙම ආධාර මුදලින් අවම වශයෙන් ශ්‍රී ලාංකිකයින් මිලියන 11කට ප්‍රතිලාභ සැලසේ. ප්‍රදානය යටතේ රථවාහන තදබදය අවම කිරීම හා කොළඹ පොදු ප්‍රවාහන සේවය වැඩිදියුණු කිරීම, පළාත් මාර්ග වැඩිදියුණු කිරීම හා ඉඩම් පරිපාලනය ක්‍රමවත් කිරීමට ද උපකාරී වෙයි. එමෙන්ම, ශ්‍රී ලාංකිකයින්ගේ ඉඩම් අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා මෙරට රජය ආරම්භ කර ඇති ක්‍රියාවලිය පුළුල් කෙරෙනු ඇතැයි යන්න අමෙරිකා එක්සත් ජනපදයේ විශ්වාසයයි.

    ප්‍රධාන ගිවිසුමේ කෙටුම්පත මෙරට වෙබ් අඩවියේ පළ කර ඇති අතර, එය සමාලෝචනය කිරීමට ශ්‍රී ලාංකිකයන්ට හැකි බව ද නිවේදනයේ සඳහන්.

    Last modified on බදාදා, 06 නොවැම්බර් 2019 16:06

    Latest News