පාසල් 665කට ලැප්ටොප් පරිගණක 15,445ක්

නොවැ 01, 2019

    සෑම පළාතකින් ම තෝරාගත් ද්විතීයික පාසල් 665ක් වෙත මෙම ලැප්ටොප් පරිගණක ලබා දීමට පියවර ගැනේ.

    පාසල් තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායීත්වය ඉහළ නැංවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම කාලීන අවශ්‍යතාවක් ව පවතින අතර, ඒ සඳහා ඉඩ ප්‍රස්ථා පුළුල් කරමින් ඉගෙනුම් මෙවලමක් ලෙස භාවිත කිරීම පිණිස ලැප්ටොප් පරිගණක පාසල් වෙත ලබාදීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

    ඒ අනුව, දිවයිනේ පළාත් නවය ම නියෝජනය වන අයුරින් සෑම පළාතකින් ම එක් අධ්‍යාපන කලාපයක් බැගින් වන පරිදි තෝරාගත් 6 -11 ශ්‍රේණි සහිත ද්විතීයික පාසල් 665ක් වෙත මෙම ලැප්ටොප් පරිගණක ලබා දීමට පියවර ගැනේ.

    මේ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කර ඇති අතර, 2022 වර්ෂය වනවිට දිවයින පුරා පිහිටි 6-11 ‍ශ්‍රේණි සහිත සියලු ම පාසල් වෙත ලැප්ටොප් පරිගණක බෙදාහැරීමට කටයුතු යොදා තිබේ. එක් එක් පාසල්වල සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අනුව පදනම් වූ පොදු ක්‍රමවේදයක් යටතේ මෙම ලැප්ටොප් පරිගණක ලබාදීමට නියමිත ය.

    ලැප්ටොප් පරිගණක ලබාදීමට අමතර ව ඒවා භාවිතය සඳහා අවශ්‍ය විදුලි ආරෝපණ පහසුකම් (charging Facility) ඇතුළු යටිතල පහසුකම් ද, විදුලිය නොමැති පාසල් සඳහා විදුලිබල පහසුකම් ද ලබාදීමට පියවර ගැනේ.

     

    Latest News