මත්ද්‍රව්‍ය චෝදනාවට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වමින් පැනවු තහනම 12/10 දීර්ඝ කෙර්

ඔක් 29, 2019

    මත්ද්‍රව්‍ය චෝදනාවන්ට මරණීය දණ්ඩනය නියමවු සිරකරුවන්ට එය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගත් තීරණය වළක්වමින් පැනවු තහනම් නියෝගය දෙසැම්බර් 10 තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

    මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විවිධ පාර්ශව විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 15 ක් අද බුවනෙක අලුවිහාරේ, එස්. තූරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණ.

    ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බැවින් පෙත්සම් විභාග කිරීම සඳහා අවසර දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සඳහන් කළේය.

    එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ පෙත්සම් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීමට වු තීරණය ගෙන ඇත්තේ අධිකරණ බලය තිබෙන නිසා බවත් මෙම පෙත්සම් විභාග කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් තිබෙන බව පෙන්වා දුනී.

    මහජනතාවගේ දැඩි අවධානයට පාත්‍ර වන නඩු නිමිත්තක් බැවින් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට වු ඉල්ලීම් අග විනිසුරුට යොමු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියේය.

    එම ඉල්ලිම සටහන් කරගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණයක් ගැනීම සදහා එම ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට නියම කළේය.

    අනතුරුව පෙත්සම් සියල්ල දෙසැම්බර් මස 9 වනදා යළි කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය දෙසැම්බර් මස 10 වනදා දක්වා දීර්ඝ කිරීමට නියම කෙරිණ.

    ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු පාර්ශව කීපයක් විසින් පෙත්සම් 15 ක් ඉදිරිපත් කර තිබේ. ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය නිමිත්තෙන් පැවති උත්සවයකදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් වරදකරුවී බන්ධනාගාරගතව සිටින හෙරොයින් ජාවාරම්කරුවන් හතර දෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තමන් අත්සන් යොදන බව ප්‍රකාශ කළ බව පෙත්සම්කරුවන් කියා සිටි.

    මේ ආකාරයෙන් තෝරාගත් වරදකරුවන් පිරිසකට පමණක් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීතියට පටහැනි බවත් එතුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන අයිතිය ලැබීමට ඇති මූලික හිමිකම උල්ලංඝනය වන බවත් පෙත්සම්කරුවන් පෙන්වා දේ.

    තෝරා ගත් සිරකරුවන් පිරිසකට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනපති ගත් තීරණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාල දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

    Latest News