ඥානසාරි හිමිට එරෙහි පැමිණිල්ල සළකා බැලීම 5/13

පෙබ 17, 2020

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීම සඳහා මැයි මස 13 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

    එම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

    එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පැමිණිල්ල සලකා බැලීම සඳහා මැයි මස 13 වැනිදා කැදවන ලෙසයි. දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම නඩු විභාගය ආරම්භ වී තිබේ.

    එම පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්, මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා නම් කර තිබේ.

    පැමිණිලිකාර මන්ත්‍රීවරිය කියාසිටින්නේ ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ ආදාහනය කටයුතු විහාර භූමියේ සිදු කිරීම වළක්වාලමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබූ බවයි.

    මෙම තහනම් නියෝග උල්ලංඝනය කරමින් ආදාහන කටයුතු සිදුකිරීම තුළින් වගඋත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව ඇය සිය පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ. ඒ අනුව වග උත්තරකරුවන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද පැමිණිලිකාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Last modified on සදුදා, 17 පෙබරවාරි 2020 12:12

    Latest News