එළඹෙන 16 වැනිදා පවුල් බලය, මැර බලය, ජඩ බලය පරාජය කරනවා - අමාත්‍ය සජිත් (වීඩියෝ)

ඔක් 20, 2019

    ජන බලයෙන්, ජන සවියෙන්, ජන ශක්තියෙන් එළඹෙන 16 වැනිදා පවුල් බලය, මැර බලය, ජඩ බලය පරාජයට පත්කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ නුවර දිස්ත්‍රික්කයේ, නාවලපිටිය නගරයේ පැවති ජන රැලියට අද (20) එක්වෙමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය. “ප්‍රතිවාදීන්ගේ පවුල් පරපුරේ ජනාධිපතිධූරය මල්ලීට, අගමැතිධූරය අයියට, මුදල් ඇමති මල්ලිය, ආරක්‍ෂක ඇමති අයියට, වනිතා කටයුතු නෝනට, තරුණ ඇමති පුතාලට. මෙවන් යුගයක් ජනතාව නැවත බලාපොරොත්තු වෙනවාද? මේ පවුල මුළු රටම සින්නක්කර ඔප්පුවෙන් තම පවුලට ලියාගන්න බලාගෙන ඉන්නවා. තමන් මේ රටේ ජන බලයෙන් පවුල් බලය පරාජයට පත්කර පොඩි මිනිසාගේ යුගය බිහි කරනවා.
    මේ මගේ ජිවිතේ ගැහි ගැහි යන කාලය නොවේ හොඳම කාලයයි. මම කල් ඉකුත් වූ භාණ්ඩයක් නොවේ. මගේ කල් ඉකුත් වුණු කාලය එනවිට දේශපාලනය කරන්නේ නැහැ. එහෙම කළොත් එය රටේ ජනතාවට කරන ලොකුම ද්‍රෝහිකමක්. අලුත් රටක් බිහි කරන්න ජවසම්පන්න ගමනකට තරුණ නායකත්වයට ජනතා සවිය ලබාදෙන්න.

    පසුගිය කාලයේ නාවලපිටිය බල ප්‍රදේශය එක් අයෙකුගේ දෙදෙනෙකුගේ මැර ගුහාවක් වෙලා තිබුණා‍. මැරකමට ජඩකමට මම ඉඩ තබන්නේ නැහැ. මේ රටේ මැරකම, ජඩකම ජන බලයෙන් පරාජයට පත් කරන්න මේ රටේ සියලුම ජනතාව තමන් සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ඉල්ලා සිටිනවා“ යනුවෙන් පැවසීය.

     

    මේ අතර අධික ජීවන වියදම හේතුවෙන් මෙරට පොදු ජනතාව අසහනයට, පීඩනයට පත්ව සිටින බවත්, තමන් ජනාධිපතිධූරයට පත් වූ පසු සෘජුවම නියෝග ලබාදී පොදු ජනතාවගේ ජීවන වියදම අඩුකර සහන ලබාදීමට ක්‍රියාකරන බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ නුවර දිස්ත්‍රික්කයේ, යටිනුවර, සුනිල් එස් ක්‍රීඩාංගණයේ පැවති ජන රැලියට අද (20) ‌‌‌පෙරවරුවේ එක් වෙමිණි. පොදුජන එක්සත් පෙරමුණේ සාමාජිකයින් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වමින් මෙම ජන රැලියට එක්ව සිටියහ. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය. “අවබෝධයක් නැති සමහර ප්‍රතිවාදී පිරිස් අහනවා කැබිනට් මණ්ඩලයේ ඉන්න සජිත්ට ඇයි මේවා කරන්න බැරි වුණේ කියලා. ඇමතිවරයෙක් ලෙස කළ හැක්කේ සීමාසහිත වැඩ කොටසක් පමණයි. නමුත් ජනාධිපතිධූරයට පැමිණි පසු නියෝග ලබාදීමේ බලය මට ලැබෙනවා. මම කොන්ද කෙලින් තියාගෙන වැඩකරන පුද්ගලයෙක්. එක් එක් අයගේ පුහු තර්කවලට මේ සජිත් ප්‍රේමදාස යටත් වෙන්නේ නැහැ.

    පොදු ජනතාවට සහන ලබාදීම සඳහා බදු ප්‍රතිපත්තිය සහමුළින්ම වෙනස් කරනවා. ආණ්ඩු වෙනස්වන විට ජනාධිපතිට, අගමැතිට ඇමතිවරුන්ට පිටරටින් අලුත් වාහන ගෙන්වමින් මහජන මුදල් නාස්කි කිරිමට පුදුරුදු වී සිටින යුගය නිමා කරනවා. මම මැතිවරණයට එන්නේ කෝටි ප්‍රකෝටිපතියන් රකින්න වත් ධන බලය, පවුල් බලය ඇති පරපුර ආරක්‍ෂා කිරීමට වත් නෙවෙයි. පොදු ජනතාව වෙනුවෙන් ඇප කැප වුණු, පරාර්ථකාමී, ජනසෙත සලසන ඉතිහාසයේ කිසිම දිනයක නොතිබුණු රජයක් සජිත් ප්‍රේමදාස නිර්මාණය කරනවා“ යනුවෙන් ද පැවසීය.

     

    එමෙන්ම තමන් විවිධ දේශපාලන කණ්ඩායම් ඉදිරිපත් කරන කොන්දේසිවලට යටත්ව තමන් කටයුතු කරාවිද යන්න ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් අද ප්‍රකාශ නිකුත් කරන බවත්, තමන් කිසිවෙකුගේ කොන්දේසිවලට යටත් වෙන පුද්ගලයෙක් නොවන නමුත් තමන් යටත් වෙන එකම තැන පොදු ජනමතයට පමණක් බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කලේ නුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, ගෙලිඔය නගරයේ පැවති ජන රැලියට අද (20) එක්වෙමිණි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක, උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බන්දුල සෙනෙවිරත්න, ශ්‍රී ලකා නිදහස් පක්‍ෂ යේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී බන්දුල ගැමුණු බණ්ඩාර, වෙලම්වැව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂක අස්කිම්, වෙලගෙදර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂක නිශ්ශංක හින්කෙන්ද යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කරමින් මෙම ජන හමුවට එක්ව සිටියා.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය. “ඔබ කුමන හෝ කොන්දේසි වලට යටත් වුවා නම් මීට ඉස්සර අපේක්‍ෂකත්වය ලබා ගැනීමට හැකියාව තිබුණා. මට අපේක්‍ෂකත්වය ලැබුනේ කිසිම කොන්දේසියකට යටත් වෙලා නොවේ. මේ රටේ ජනතාවගේ ජනවරමෙන් මම ජනතාවට සේවය කරන්නේ. පොදු ජනතාවගේ මතයට හැර කිසිම පරදේශක්කාරී, අධිරාජ්‍යවාදී සතුරු බලවේගයකට ප්‍රේමදාසගේ පුතා යටත් වෙන්නේ නැහැ. ජනතාව මට ශක්තිය ලබාදෙන විට මෙරට ඉතිහාසයේ නොමිලේ රටට සේවය කරන ජනාධිපති බවට මම පත්වෙනවා. ජනාධිපති ලෙස තමන්ට හිමිවන සෑම සතයක්ම රටේ දියුණුව වෙනුවෙන් පරිත්‍යාග කරනවා. මම ඇමතිවරයෙකු ලෙස වසර 5කට ආසන්න කාලයක් කටයුතු කරන කාලයේ එය ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. ඇමතිවරයෙකු ලෙස මට හිමිවන සියලුම දීමනා පරිත්‍යාග කළේ මේ රටේ දුප්පත් ජනතාවට නිවාස ඉදිකිරීම සඳහායි.

    විරැකියාව උද්ධමනය අඩු කර මනා ආර්ථික කළමනාකාරිත්වයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කර මාතෘ භූමිය ගොඩනගනවා. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ දැවැන්තම සමාජ ආර්ථික දේශපාලන විප්ලවය මේ සජිත් ප්‍රේමදාස ආරම්භ කරනවා. මේ මගේ ශක්තිමත්ම කාලයයි. මටත් කාලයක් එනවා හරියට හිතන්න බැරි, ප්‍රශ්නයක් අහනකොට පිළිතුරුදීමට නොහැකිව වටපිට බලන. සමහරුන් දේශපාලනයට ආවට පසුව නැවත යන්නේ නැතිව බුවල්ලෝ වගේ අල්ලාගෙන සිටිනවා. මම එසේ කටයුතු කරන්න සූදානම් නැහැ. මගේ දේශපාලන ගමන තීන්දු කරන්නේ පොදු ජනතාවයි“ යනුවෙන් පැවසීය.

    Last modified on ඉරිදා, 20 ඔක්තෝබර් 2019 20:22

    Latest News