ජනතාව උද්ඝෝෂණය කළ විට රාජපක්‍ෂ ආණ්ඩුව පිළිතුරු ලබාදුන්නේ වෙඩි උණ්ඩයෙන් - අගමැති

ඔක් 19, 2019

    සහන ඉල්ලා ජනතාව උද්ඝෝෂණය කළ විට රාජපක්‍ෂ ආණ්ඩුව පිළිතුරු ලබාදුන්නේ වෙඩි උණ්ඩයෙන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

    ලබන නොවැම්බර් 16 වැනිදා ජනතාව තීරණය කළ යුත්තේ යළිත් වෙඩි කනවාද? නැතිනම් වර්තමානය මෙන් නිදහස භුක්ති විදිමින් බත් කනවාද යන්න බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (19) දින ලග්ගල, නව නගරයේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැලිය අමතමිනි.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ....

    "පොහොට්ටුවේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ අලුත් රටක් හදන බව ප්‍රකාශ කරනවා. වසර 10ක් මේ රට පාලනය කළ මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ රාජපක්‍ෂවරුන්ට අලුත් රටක් හැදීමට නොහැකි වුණා. එසේ නම් දැන් අලුත් රටක් හදන්නේ කෙසේද කියා කිව යුතුයි. නැවත මේ අය බලයට පැමිණියත් රට පාලනය කරන්නේ 2015 ට පෙර පාලනය කළ ආකාරයටම බව කිව යුතුයි.

    වසර 10 ක පාලන කාලය තුළ බඩු මිල අඩු කර ජනතාවට සහන නොදුන් රාජපක්‍ෂවරු නැවත බලයට පැමිණ එම කටයුතු සිදු කරන්නේ කෙසේද? වත්මන් ආණ්ඩුව 2015 දී බලයට පැමිණෙන විට පෙට්‍රල් ලීටරයක මිල 162 යි. අද 137 යි. එදා ඩීසල් ලීටරයක් 118 යි. අද 104 යි. එදා භූමිතෙල් ලීටරයක් 110 යි. අද 90 යි. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල එදා 2650 යි. අද 1493 යි. පරිප්පු කිලොවක් එදා 240 යි. අද 120 යි. කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් එදා 410 යි. අද 345 යි. සිනි කිලෝවක් එදා 120 යි. අද 100 යි. සැමන් ටින් එකක් එදා 275 යි. අද 190 යි.

    රාජපක්‍ෂ පාලන සමයේ සහන ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට එදා වෙඩි තැබුවා. ඉන්ධන මිල අඩු කරන ලෙස ඉල්ලමින් එදා උද්ඝෝෂණය කළ හලාවත ඇන්තනීව වෙඩි තබා ඝාතනය කළා. වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා පෙළ පාලි ගිය රොෂාන් චානකව වෙඩි තබා ඝාතනය කළා. ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතු පස්වල ජනතාව වෙඩි තබා ඝාතනය කළා. එදා ඒ වෙඩි උණ්ඩය වෙනුවට 2015 සිට අපි ජනතාවට නිදහස ලබාදුන්නා. වෙඩි කන යුගය වෙනුවට බත් කන යුගයක් අප උදා කළා.

    ඒ අනුව නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී බත් කනව ද වෙඩි කනවද කියා තීරණය කළ යුතුයි. බත් කෑමට අවශ්‍ය නම් හංසයා ලකුණ ඉදිරියේ කතිරය ගසා සජිත් ප්‍රේමදසා මැතිතුමා ජනාධිපති කරවන ලෙස ඉල්ලා සිටිනවා. යැයි ප්‍රකාශ කළේය.

    මෙහිදී අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තම අරමුණවී තිබෙන්නේ රට දියුණු කර සියලූ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් තලයකට ගෙනඒම බවයි.

    ජනතා ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා තමා බලයට පැමිණි වහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා සංවර්ධනයේ නව පිම්මක් ඉදිරියට තබා රට ගොඩ ගන්නා බව සඳහන් කළේය.

    තරුණ හා කාන්තා ප්‍රඥප්ති ඇති කරමින් එම ක්ෂේත්‍රවල ගැටළු විසඳීමට පියවර ගන්නා සේම කර්මාන්ත, කෘෂිකර්මාන්තය ඇතුළු රටේ අනෙකුත් ක්ෂේත්‍රවල මතුව තිබෙන ගැටළු කඩිනමින් විසදා රට ඉදිරියට ගෙන යෑමේ ගමන ආරම්භ කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.
    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය කියා සිටියේ 2015 සිට මේ දක්වා ලග්ගල ප්‍රදේශයේ පුළුල් සංවර්ධනයක් ඇති කිරීමට තමන්ට හැකි වූ බවයි.
    මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබුර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු එජාප ක්‍රියාකාරීහූ රැසක් සහභාගීව සිටියහ.

    Latest News