ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්වීම ගැන නෙදර්ලන්ත විදේශ ඇමතිගේ පැසසුමට (වීඩියෝ)

ඔක් 19, 2019

    විවිධ අභියෝග මධ්‍යයේ වුවද නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදි මැතිවරණ ක‍්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ‍්‍රී ලංකාව සමත්වීම ලොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල දැඩි පැසසුමට ලක්ව තිබෙන බව නෙදර්ලන්ත විදේශ අමාත්‍ය Stef Blok මහතා පවසයි.

    ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත විදේශ අමාත්‍යවරයා අද (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළේය. ශ‍්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ද්විපාර්ශ්වික හා කලාපීය කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ලක් විය. තමා මෙවර ජනාධිපතිවරණයේ දී නිර්පාක්ෂිකව කටයුතු කරන බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මෙවර මැතිවරණය ඉතා සාමකාමී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී මෙන්ම දූෂණවලින් තොර මැතිවරණයක් වනු ඇති බවට තමාට සහතික විය හැකි බව ද කියා සිටියේය. පොලීසිය සහ ති‍්‍රවිධ හමුදාව තමා යටතේ පවතින බැවින් මැතිවරණ සමයේ දී රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින් අපක්ෂපාතී සහ ස්වාධින මැතිවරණයකට කැපවීමට තමා ඔවුන්ට උපදෙස් ලබා දී තිබෙන බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

    ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කි‍්‍රයාවලිය උදෙසා විශේෂයෙන් මහාමාර්ග සංවර්ධනය, ජල දූෂණය වළක්වා ගැනීමේ යෝජනා ක‍්‍රම සහ ග‍්‍රාමීය වශයෙන් පාලම් ඉදිකිරිමේ ව්‍යාපෘති සඳහා නෙදර්ලන්තය ශ‍්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා පසුගියදා පොළොන්නරුවේ කි‍්‍රයාත්මක කළ ව්‍යාපෘති කිහිපයක් වෙනුවෙන් ද ලබාදුන් සහයෝගයද ස්තූති පූර්වකව සිහිපත් කළේය. ශ‍්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අදාළ ව්‍යාපෘතිවලට එම ක්ෂේත‍්‍රයේ විශේෂඥතාවයක් දක්වන නෙදර්ලන්තයේ සහයෝගය තවදුරටත් ලබාගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ජාවට ලක් විය. පාස්කු ඉරිදා සිදුවීම පිළිබඳව ජනාධිපතිතුමා වෙත සිය කණගාටුව පළ කළ නෙදර්ලන්ත විදේශ අමත්‍යාවරයා ත‍්‍රස්තවාදයට එරෙහි කටයුතුවලදී ජාත්‍යන්තර සහයෝගය තර කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද අදහස් දැක්වීය.

    නෙදර්ලන්ත විදේශ අමාත්‍යාංශයේ ආසියාව පිළිබඳ ප‍්‍රධාන නිලධාරි, ශ‍්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ඇතුළු නියෝජිත පිරිසක් ද ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආරියසිංහ, ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ බ්ලොක් මහතා තවදුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට තම රටේ ව්‍යවසායකයන් කැමැත්තෙන් සිටින බවය. දෙරට අතර පවතින සබඳතා පදනම් කර ගනිමින් විවිධ ක්‍ෂේත්‍රයන් තුළ සහයෝගීතාව වර්ධනය කරලීමේ අවකාශයන් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් පළ කළේය. නෙදර්ලන්ත ආයෝජන ඔස්සේ මෙරට ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති සම්බන්ධයෙන් ද, වත්මන් ගෝලීය දේශපාලන හා ආර්ථික ප්‍රවණතා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සහ නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්වී සිටියහ.

    Last modified on සෙනසුරාදා, 19 ඔක්තෝබර් 2019 20:02

    Latest News