කේරළ ගංජා සමග දෙදෙනෙක්ට මන්නාරම දී මාංචු

ඔක් 19, 2019

    මන්නාරම, ඉලුපාකඩවෙයි ප්‍රදේශයේ දී ‍නාවික හමුදාව යොදා ඇති මාර්ග බාධකයේ දී සුඛෝපභෝගී ජීප් රථයක තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 164.3 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගැනිණ. ජිප් රථයක් නැවැත්වීමට උත්සාහ කිරීමේ දී රථය නාවික හමුදාවේ අණ නොතකා පලා යාමට උත්සාහ කර තිබේ.

    නාවික හමුදා ක්‍රමවේදයට අනූව පලා යමින් සිටි සැක කටයුතු ජිප් රථය වෙත අවවාදාත්මක වෙඩි පහර එල්ල කිරීමෙන් පසු සැකකටයුතු ජිප් රථය නවත්වා ගැනීමට නාවික හමුදාව ක්‍රියා කළේය. රථයේ රියදුරු කළුවන්කර්නි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, අනෙකුත් සැකකරු මොණරාගල, මැදගම පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු බවට හඳුනාගෙන තිබේ.

    නාවික හමුදා බාරයට ගත් සැකකරුවන්, ඔවුන් ගමන්ගත් සුඛෝපබෝගී ජිප් රථයක් සහ කේරල ගංජා තොගය මන්නාරම පොලිසියට භාර දීමට නියමිතව තිබේ. මෙම වසර තුළ පමණක් නාවික හමුදාව විසින් අවස්ථා 105 කදී කේරළ ගංජා ටොන් 03 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර, එහිදී සැකකරුවන් 169 දෙනෙකු ද නීතියේ රැහැනට හසුකර දීමට සමත්ව ඇත. තවද, මෙරට මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානය යොමු කරමින් ඒ සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි.

    Last modified on සෙනසුරාදා, 19 ඔක්තෝබර් 2019 12:11

    Latest News