ත්‍රස්තවාදය විනාශ කළා සේම කුඩු දේශපාලනයත් මේ රටින් තුරන් කරනවා - සජිත්

ඔක් 15, 2019

    සිය පාලනය යටතේ ජාතික ආරක්ෂාව තහවුරු කොට ත්‍රස්තවාදය විනාශ කරන්නාසේම කුඩු දේශපාලනයත් විනාශ කරනා බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (15) ප්‍රකාශ කළේය.

    ජනාධිපතිවරණ ජනරැළි මාලාවේ දැරණියගල පැවැති ජනහමුවට සහභාගී වෙමින් ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

    සජිත් ප්‍රේමාදාස මහතා දැක්වූ අදහස්...

    “මහපොළොවේ පය ගසා ජීවත් වන ජනතාවට ලබන නොවැම්බර් 17 දාට රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතාව ජනාධිපති කරනවා කියන විශ්වාසය තියෙනවා. ජනාධිපතිවරණය ගැන කතා කරද්දි මම අපේ කණ්ඩායමත් සමඟ ඉදිරිපත් කරන්නේ අලුත් ගමණක්. අලුත් වැඩපිළිවෙලක්. නවීනත්වය ගැලපෙන ප්‍රගතිශිලි ගමනක්.
    මෙය ඩිජිටල් තාක්ෂණය දැනුම මත පදනම් වූ ආර්ථික ගමනක්. දැනුම් මත පදනම් වූ ආර්ථික සංවර්ධනයක්. අපේ ඉලක්කය මාතෘභූමියට නවීන ක්‍රමෝපායන් හරහා අලුත් සංවර්ධන රටාවක්. ජනතාවගේ දුක නිවන යුගයක්. ජනතාවට සංවර්ධිත යුගයක්. ඒ යුගය අපි අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාව වෙනුවෙන් දිවි හිමියෙන්ම ඇති කරනවා.”

    “මේ රටේ අතිමහත් බහුතරයකට පවුල් පාලන බලයක් නැහැ. ධන බලයක් නැහැ. නමුත් මේ රටේ බහුතර ජනතාව ජන බලය අතේ තියාගෙන ඉන්නවා හරි වෙලාවට හරි දේ කරන්නට. මෙම මැතිවරණ දේශපාලන ව්‍යාපාරයේ දේශපාලන රූකඩයක් නොවෙයි මම. එක් එක්කෙනා පලනය කරන එක් එක්කෙනාට යටත් වුනු වහල් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් නොවෙයි මම. මේ රටේ ජනාධිපති ලෙස ජනතාව මා දිනවන කොට මාව හසුරුවන්න කව්රුවත් නැහැ. මාව පාලනය කරන්න කව්රුත් නැහැ. මාව හසුරුවන්නේ මාව පාලනය කරන්නේ මහපොළොවට පය ගසා ජිවත් වන පුංචි මිනිසුන් වන ඔබ තමුන්නාන්මසේලායි.”

    “අපේ ප්‍රතිවාදි කණ්ඩායම් කොහොමද හැසිරෙන්නේ කියලා දැන් හැමෝටම දැක ගන්න පුළුවන්. හැම දෙයක්ම පාලනය කරනවා. මාධ්‍යවේදීන් ලඟට ඇවිත් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නත් තහනම්. මොකද බයයි කට වරද්ද ගනිවී කියලා. අපි සර්ව සම්පූර්ණ පුද්ගලයෝ නොවෙයි. මමත් අංග සම්පූර්ණ පුද්ගලයෙක් නොවෙයි. මගෙනුත් යම් යම් අවස්ථාවලදී අඩු පාඩුකම් සිද්ධ වෙන්න ඉඩ තිබෙනවා. හැබැයි වැරදිලාවත් මගෙන් අඩුපාඩුකම් සිද්ධ වුනොත් මට පිට කොන්දක් කශේරුකාවක් තියෙනවා ජනතාව ලගට ඇවිල්ලා සමාව ඉල්ලන්නට. මට ඒ හැකියාව තියෙනවා.”

    “මගේ ළග මහන්තත්ත්වකම නැහැ මම ලඟ ආඩම්බරකාරකම නැහැ. මගේ ලග එක දෙයක් තියෙනවා පොදු ජනතාවගේ හද ගැස්ම මගේ පපුවෙත් තියෙනවා. මේ රටේ හැම කෙනෙක්ම බලාපොරොත්තුවන්නේ සුබවාදි අනාගතයක් අපේ රටේ දරුපරපුරට ලබා දෙන්න. මතු පරපුර වෙනුවෙන් ශක්ති සම්පන්න ශ්‍රී ලංකාවක් ගොඩ නඟන්නයි. අපේ රටේ හැම දෙමාපියෙකුම බලාපොරොත්තුව එයයි. එවැනි රටක් ගොඩනගන්න නම් විනය ගරුක ජනසමාජයක් බිහි කරන්නට ඕනෑ. යුක්ති ගරුක නීති ගරුක ජන සමාජයක් නිර්මාණය කරන්නට ඕනෑ. රට පාලනය කරන පවුල් පරපුරේ ළමයින්ට එක නීතියකුත් ගමේ බණ්ඩයියාගේ දූ දරුවන්ට තව නීතියකුත් යනාදී ලෙස දෙවිදියක නීතියක් ක්‍රියාත්මක වෙන්නට බැහැ. එදා එවන් යුගයක් තිබුණා. නැවතත් එවන් නීතියක් ඕනැද රජ පවුල්වල දරුවන් රජ කරන යුගයක් නැවත ඕනෙද...? එසේනම් සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව පත් කරන කොට රජ වෙන්නේ වෙන කව්රුවත් නොවෙයි මේ රටේ සමස්ත ජනතාවයි.”

    “දැරණියගලට එද්දිම මට හිතට ලොකු ආඩම්බරයක් දැනුනා. නගරයට ඇතුල් වෙද්දි අපේ තාත්තා හදපු පවුල් 3000 ක් ජීවත් වන ඇගලුම් කර්මාන්ත ශාලාව පසු කරද්දි ලොකු සතුටක් හිතට දැනුනා. තාත්තා කර්මාන්ත ශාලා ආරම්භ කළා සේම පුතා කර්මාන්ත පුරයන් ආරම්භ කරනවා. ජනාධිපතිවරණයෙන් මාව ශක්තිමත් කරනකොට තරුණ පරපුර වෙනුවෙන් සෑම උපදිසාපති කොට්ඨාශයකට වෙනම කර්මාන්ත පුරවර වැඩසටහනක් ආරම්භ කරනවා. දැරණියගලටත් දෙහිඔවිටටත් කර්මාන්ත පුර ලබා දෙද්දි මුළු රටේම තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය විසදන්න කර්මාන්ත පුර රට පුරාම ඉදි කරනවා.”

    රටක් ඉදිරියට යන්න නම් අලුත් තාක්ෂණය, නවදැනුම පදනම්වූ ආර්ථිකයක් වෙනුවෙන් අපේ රට පරිවර්තනය කරන්න ඕනේ. නව තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය පරිගනක විද්‍යරව ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය අපි ලබා දෙන්න ඕනෑ. අගනුවර හෝ තදාසන්න නගරයක සිටින තරුණ පරපුර පමණක් නොවෙයි රටේ සමස්ත තරුණ පරපුරටම එය ලාබදිය යුතුය කියන ශක්තිමත් මතයේ මම ඉන්නවා. රටපුරා කර්මාන්ත පුරවර ආරම්භ කරන අතරතුර පරිගණක තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය කේන්ද්‍රකර ගත් ජ්‍යන්තර තලයේ විද්‍යල හැම උපදිසාපති කොට්ඨාශයකම ආරම්භ කර ඒ තාක්ෂණ විද්‍යල තුලින් අපේ රටේ තරුණ පරපුරට දැනුම කියන ඉනිමගේ ඉහළටම ගෙනියන්න නොමිලේ අධ්‍යාපන ශක්තිය ලබාදීලා අපේ මාතෘභූමිය ඩිජිටල් තාක්ෂණයේ අංක 1 බවට පත් කරනවා.”

    “මගේ ජනාධිපතිවරණය ආරම්භ කළේ ‍‍ඓතිහාසික ජනරැළියක් පවත්වලා ගාලුමුවදොර පිටියෙන්. ඉන් පසුව ආසන මට්ටමේ රැස්වීම් මාලාව වැල්ලවායෙන් ආරම්භ කළා. මම එහිදි කළ කතාවේ අත්‍යාවශ්‍යම කොටස් රටටම ඉදිරිපත් කරන ඇත්තෝ හෙමිහිට කපා හැරිය මගේ කතාව මාධ්‍යයෙන් කපා හැරියාට මම යන යන තැන්වලදී එම කතාව කියනවා. මම සමෘද්ධි වැඩසටහන ශක්තිමත් කරනවා වගේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ජනසවියත් යළි ලබා දෙනවා. මම කියන දේ ‍කපා හරින්නේ ඒ ඇත්තෝ සහාය දෙන අපේක්ෂකයෝ කඩාගෙන වැටේවි කියලා. අපේ ප්‍රජාතන්ත්‍රවාදි අපේක්ෂකයෝ ජනසවි මුද්දරයවත් සමෘද්ධි මුද්දරයවත් දැකලා නැහැ.
    අපට ආරංචි වෙනවා දැන් එයාලට මෙන්න බොලේ ජනසවි මුද්දරය මෙන්න බොලේ සමෘද්ධි මුද්දරය කියලා උගන්නවනවා කියලා. අපට ඒවා උගන්නන්න අවශ්‍ය නැහැ. මොකද මම මහපොළොවේ පය ගහපු ජනතාවගේ හද ගැස්ම හදුනනවා. එම නිසා පොදු ජන හදගැස්ම ගැන මට කාගෙන්වත් ටියුෂන් ගන්න අවශ්‍ය නැහැ. මම ජනාධිපති වුණාට පස්සේ සමෘද්ධියත් දෙනවා ජනසවියත් දෙනවා.”

    “බලංගොඩ රැස්වීමේ කියපු වැදගත් දේත් මාධ්‍ය පෙන්නුවේ නැහැ ඇයි ඒ අය බයයයි. මොකද මම කියන දේ ජනතාව පිළිගන්නවා. මේ පොරොන්දු දෙන්නේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා නිසා තමයි ඒවා කපා හරින්නේ. මා‍ධ්‍යයෙන් කපන නිසා මුහුණු පොතේ මගේ කතාව සජිවීව දෙනවා.”

    මගේ තාත්තා දෙපැත්ත පත්තු වන විලක්කුවක් වැනි රටක් බාර ගත්තත් පාසල් දරුවන්ට නිල ඇදුම් දුන්නා දිවා ආහාරය දුන්නා. අපේ ප්‍රතිවාදින් තමයි පාසල් දරුවන්ගේ දිවා ආහාරය කැපුවේ. දිවා ආහාරය කපපු අය අද දරුවෝ වඩා ගෙන දරු සුරතල් පෙන්නමින් ඡන්ද ගන්න හදනවා. හැබැයි ජනතාව දැන ගන්න ඕනේ දිවා ආහාරය කපා දරු සුරතල් පෙන්න අය ප්‍රතික්ෂේප කරන්න.”

    “ලබන 17 ද ජනතාව මාව ජනාධිපති පුටුවේ වාඩිකලාම මම හැම පාසලකම සිටින සෑම දුවා දරුවෙකුටම පාසල් නිලඇදුම් කට්ටල දෙකයි දිවා ආහාරයයි ලබා දෙනවා. අපි එහෙම කරන්නේ පාසල් දූ දරුවන්ව අධ්‍යපනයට දිරිගන්වන්නයි. දුප්පත් දරුවෙක් පාසල් යනකොට ඔවුන්ට අගතියක් නොවන්න සමානාත්මතාවය රකින්න, කෙනෙහිලිකම් නොවන ආකාරයට හොදින් අධ්‍යපනය කරන්නටයි මෙලෙස නිල ඇදුම් හා දිවා ආහාරය ලබා දෙන්නේ. දිවා ආහාරය ලබාදෙන්නේ ක්ලාන්තේ දාලා වැටෙන්න නොව හොඳින් අධ්‍යපනය කරන්නයි. සැබෑ දරුකැක්කුමක් තියෙන සජිත් ප්‍රේමදාස දුවා දරුවන්ට දිවා ආහාරය ලබා දෙනවා. මගේ කතාව කපන්නේ මාව උඩට ඉස්සෙයි කියලා බයටයි. ඒ අයට මම කියනවා ජනතාව මාව උඩට උස්සලා හමාරයි කියන කාරණය.
    රටට විදේශ විනිමය ගෙනෙන වතු කම්කරුවෙකුට දවසකට ලැබෙන්නේ රුපියල් 700 ක සොච්චමක් පමණයි. නමුත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියනවා හතර දෙනෙකුගෙන් යුතු පවුලකට මාසෙකට ජිවත් වෙන්න රුපියල් 50,000 ත් 55,000 ක් අවශ්‍යයි කියලා. ඒ නිසා සොච්චම් මුදලක් ලැබෙන වතු කම්කරුවාගේ වැටුප වැඩි කරනවා කියා මා පොරොන්දු වෙනවා.”

    “රටම වෙලාගෙන තිබෙන කුඩු ජාවාරමට මා ඉඩ තබන්නේ නැහැ. අපේ මාතෘභුමියේ කුඩුකාරයන්ට තැනක් තබන්නේ නැහැ. දේශපාලන ක්ෂේත්‍රයටත් කුඩුකාරයෝ ඇවිල්ලා. ඔවුන් බලවතුන් ධනවතුන් වෙලා. මම හොදම පුද්ගලයා ආරක්ෂක ඇමතිකමට පත් කරලා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ත්‍රස්තවාදය තුරන් කරමින් කුඩාකාරයාවත් මෙරටින් තුරන් කරනවා.”

    “මේ රටේ සම්පත් තියෙන්නේ එක පවුලකට කාලා විනාශ කරන්න නොවෙයි. ඒ සම්පත් අයිති මේ රටේ මහජනතාවටයි. සැබෑ අයිතිකාරයෝ මේ රටේ ජනතාවයි. ඔවුන් තමයි මේ රටේ මහාභාණ්ඩාගාරයේ අයිතිකාරයෝ. රජපවුල් සමග ගජමිතුරු සබඳතා මට නැහැ. මම පාට පක්ෂ බේදයෙන් තොරව, කුලමල බේදයෙන් තොරව එකතු වෙන්නේ රටේ තැලෙන පොඩිවෙන වැඩ කරන ජනතාව සමගයි. ප්‍රේමදාසගේ පුතාට හයිය දීලා අලුත් යුගයක් අලුත් ගමනක් ආරම්භ කරමු. මේ රට ලෝකයේ අංක එකේ රට බවට පත් කරනවා පත්කරනවාමයි.” යැයි ප්‍රකාශ කළේය.

    Latest News