සියලු පොලිස් නිලධාරීන්ට වැටුපට අමතර වි‍ශේෂ දීමනාවක්

ඔක් 15, 2019

    ශ්‍රී ලංකා පොලිස් සේවයට අයත් සියලු නිලධාරීන්ට වැටුපට අමතරව රජයෙන් මාසිකව දින 20ක විශේෂ සංයුක්ත දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අතර මේ සම්බන්ධයෙන් පසුගිය මාස දෙකකට පෙර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙම විශේෂ දීමනාව 75000 ක් පමණ වන පොලීසියේ සියලු දෙනාට හිමි වන බව මහා භාණ්ඩාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.

    පොලිස් නිලධාරීන් නිරතුරුව රාජකාරි නිමිත්තෙන් තම පොලිස් වසමෙන් බැහැරව යාමට සිදුවන අවස්ථාවන්හි ඒ සඳහා සංයුක්ත දීමනා ලබාගැනීම සඳහා වවුචර හා ලියකියවිලි ඉදිරිපත් කළ යුතුව තිබිණ.

    එවන් අවස්ථාවක ඇතිවන්නා වූ පරිපාලන වියදම් හා අනෙකුත් ප්‍රායෝගික දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙම සංයුක්ත දීමනාව දින විස්සක විශේෂ දීමනාවක් ලෙස පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ වැටුප සමඟ මාසිකව ගෙවීමට තීරණය කර ඇත.

    රාජ්‍ය නිලධාරීන්ට දිනකට රු. 350, රු. 400/- හා රු. 500/- වශයෙන් ගෙවන ලද සංයුක්ත දීමනාව මෙම රජය විසින් 2018 වසරේ සිට රු. 700/- , රු. 800/- හා රු. 1000/- ලෙස දෙගුණ කරන ලදී. මේ අතර පොලිස් සේවයේ දීර්ඝ කාලයක් තිස්සේ උසස් වීම් නොමැතිව සිටි 31000 ක් පමණ අයට පොලිස් කොස්තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස්වීම් ලබාදීම පසුගියදා ක්‍රියාත්මක කෙරිණි.

    Last modified on අඟහරුවාදා, 15 ඔක්තෝබර් 2019 13:24

    Latest News