අන්තවාදි හෙවනැල්ලට සැඟවුණ පොහොට්ටුව පරවෙන්නේ ජනපතිවරණයෙන් - ඇමති රවි (වීඩියෝ)

ඔක් 14, 2019

    මෙවර ජනාධිපතිවරණයේදි පොහොට්ටු පිපිලා පරවෙලා යන බව අමාත්‍ය රවි කරුණානායක පවසයි.

    ඒකීය ලංකාවක් තුළ පුළුල් බලය විමධ්‍යගත කර සියලු ජාතීන්ට නිදහසේ ජීවත්විය හැකි තත්ත්වයක් රට තුළ ඇති කරණ බව ඔහු තවදුරටත් කියා සිටියේය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, අද (14) පෙරවරුවේ සිරිකොත පැවති මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

    "පක්ෂය විසින් ඒකමතික තීන්දුවක් ගැනීමෙන් අනතුරුව, අප සියලු දෙනාම දැන් එකමුතුව කටයුතු කරගෙන යනවා. එකම පවුලක් ආකාරයෙන් අපි මේ වනවිට කටයුතු කරගෙන යනවා. අපට පොදු හතුරා වන්නේ එක්සත් ජාතික පෙරමුණට විරුද්ධ වෙන පුද්ගලයා පමණයි. අපට සුළු ජාතීන්ගේ සහයෝගයත් ලැබෙනවා. අන්තවාදය වපුරණ සුළු පිරිසක් පමණක් අපෙන් වෙන්වෙලා වෙනත් පක්ෂ වලට සහාය පළකරනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය කොළඹත්, මඩකලපුවේත්, යාපනයේත්, ත්‍රීකුණාමලයේත්, හම්බන්තොටත් එකම දෙයක් තමයි කියන්නේ. ඒකීය රජයක් තුළින් පුළුල් බලය විමධ්‍යගත කිරීමක් කරලා, සිංහල, දෙමල. මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලු ජාතීන්ට මේ මගේ රට කියලා නිදහසේ ජීවත්විය හැකි තත්ත්වයක් අපි ඇති කරනවා. මම අභියෝග කරනවා අනෙක් පක්ෂ වලටත් මේ දේ මේ ආකාරයෙන් වේදිකාවේ කියන්න කියලා. නමුත් ඔවුන්ට මේ දේ කියන්න බැහැ. ඔවුන් කොළඹට එකක්, ස්වාමීන් වහන්සේලාට තවත් එකක්, යාපනයට ගිහින් හොර රහසේ තවත් එක්ක කියන ජාතියේ පිරිසක්. නමුත් අපි එහෙම නැහැ. අපි විවෘතයි. ඒ නිසා තමයි අපි ඉදිරියට එන්නේ" යැයි එක්සත් ජාතික පක්ෂ උප නායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදුන් කරුණානායක මහතා ..,

    "අද අපි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ජය තහවුරු තිරීම වෙනුවෙන් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් සිරිකොත ආරම්භ කළා. රටේ හැම කොනක්ම ඒකරාශී කරලා, එක්සත් ජාතික පක්ෂයේ බලය, එක්සත් ජාතික පෙරමුණෙන්, හංසයාගේ සලකුණෙන් පෙන්නුම් කරන්න අපි සූදානම්. ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයට තරඟ කරනවා. ඒක අපට ගැටළුවක් නොවෙයි. අපි අපේ කටයුතු කරගෙන යනවා. අපට පේනවා යම් අන්තවාදි කොටසක් එකතුවෙලා අන්තවාදය වපුරනවා. පොහොට්ටු පිපිලා පරවෙලා යනවා. අන්න එහෙම තමයි ඡන්දෙදිත් වෙන්නේ" යැයි පැවසීය.

    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2019 20:15

    Latest News