2005 සිට බැඳුම්කර වංචාවේ සුල මුල නොවැම්බර් එළියට - මහ බැංකු අධිපති

ඔක් 12, 2019

    වසර 2015ට පෙර හා පසු සිදු වූ බැඳුම්කර ගනුදෙනුවල දී අක්‍රමිකතා සොයා බැලෙන වෝහාරික විගණන හයෙන් පහක වාර්තා ලබන නොවැම්බර් මාස ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.

    මෙම විගණන වාර්තා පිළිබඳ මුදල් මණ්ඩලය සලකා බලා ඉදිරි නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට නීතිපතිට යොමු කරන බවත් ඔහු කියා සිටියේය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ මුල්‍ය ප්‍රතිපත්ති මාධ්‍යයන්ට කරුණු දැක්වීමට කොළඹ මහ බැංකු මූලස්ථාන‍යේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවේදී නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මේ බව පැවසිය.

    වසර 2005ට පෙර පැවැති රජය සහ ඉන් පසු පවතින රජය සමයේ බැඳුම්කර ගනුදෙනුවල දී සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජනවල දී අක්‍රමිකතා සිදුවී ඇතිද? නැතිද? යන්න පිළිබඳ මේ ස්වාධීන විගණනවලින් කරුණු අනාවරණය වනු ඇත. ඒ අනුව නිකුත් වන වාර්තාවන් මහජනතාවට දැන ගැනීමට ප්‍රසිද්ධියට පත් කරන්නේ දැයි නැඟූ පැනයට පිළිතුරු දුන් අධිපතිවරයා එය නීතිපතිවරයාගේ හා නීති අංශ බලධාරීන්ගේ අවධානය හා උපදෙස් ලබාගෙන සිදු කිරීමට පියවර ගන්නා බව ද කීය.

    Last modified on සෙනසුරාදා, 12 ඔක්තෝබර් 2019 12:16

    Latest News