විශ්‍රාමිකයන්ට නව ප්‍රතිලාභ හිමිවන නව අපනයන ආර්ථිකයක් (වීඩියෝ)

ඔක් 08, 2019

    පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය නවීකරණය කිරීම සඳහා රටේ ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහල නැංවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) කොළඹ දී පැවසීය.

    එවැනි ආර්ථික වේගයක් අත්කර ගැනීම වෙනුවෙන් මෙරට ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත්කරන බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා, ඒ වෙනුවෙන් පෞද්ගලික අංශයට සහාය වීම සඳහා රුපියල් බිලියන 500ක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව අවධාරනය කළේය. එවැනි ආයෝජනයක් තුලින් නිර්මාණය වන ප්‍රතිලාභ විශ්‍රාමික ප්‍රජාවටත් හිමිවන බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (08) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාතික විශ්‍රම දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා......

    මෙරට ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහල නැංවීමෙන් විශ්‍රාම වැටුප් ක්‍රමය දැනට වඩා නවීකරණය කිරීමට හැකි වෙනවා. ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහල යාම තුලින් වර්තමාන රාජ්‍ය සේවකයාට මෙන්ම විශ්‍රාමික ඔබ සියලූ දෙනාටත් එහි වාසි අත්වෙනවා. ආර්ථික වර්ධනය එවැනි තත්වයකට පත්කිරීමට මෙරට ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත්කළ යුතුයි. අපනයන ආර්ථිකය තුලින් ඇතිවෙන ආර්ථික වර්ධන වේගයෙන් මෙරට දියුණුවට පත්වෙනවා.

    ඔබ සියලූ දෙනා ඉටු කළ සේවය හේතුවෙන් මූලික ආර්ථික යටිතල පහසුකම් ස්ථාපිත වී තිබෙනවා. මහනුවර, කොළඹ, හම්බන්තොට දක්වා යටිතල පහසුකම් සංවර්ධනය කර තිබෙන නිසා විදෙස් ආයෝජන ලබාගෙන ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම බාරගෙන ඉදිරියේදීත් අප කටයුතු කරනවා.

    අපනයන ආර්ථිකයක් බවට පත්වීමට අවශ්‍ය පෞද්ගලික ව්‍යවසායන් ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී රුපියල් බිලියන 500ක් ලබාදීමට අප පොරොන්දු වී තිබෙනවා. ආර්ථික සංවර්ධනය ඇතිවීම තුලින් රට තුලට මුදල් ගලා එනවා. රට තුල මුදල් සංසරණය වැඩිවීම තුලින් රජයේ මුදල් ඉහල ගොස් සමාජ සුභ සාධනය වෙනුවෙන් වැඩි වශයෙන් මුදල් වෙන් කිරීමට හැකියාව හිමිවෙනවා. රටේ ආර්ථික වර්ධන වේගය ඔබේ අනාගතයට සෘජුව බලපාන බව මම මෙහිදී සඳහන් කිරීමට කැමතියි.

    විශ්‍රාමික ප්‍රජාවට ගෞරවයෙන් ජීවත් විය හැකි පරිසරයක් ඇති කිරීමට වත්මන් රජය කටයුතු කළ බව පැවසූ රාජ්‍ය පරිපාලන, ආපදා කළමණාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා, වසර 09ක් සටන් කර ලබාගැනීමට නොහැකි වූ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව කටයුතු කළ බව ද පෙන්වා දුන්නේය.  විශාලතම ණය වාරික සහ ණය පොලී මේ වසර තුල ගෙවා දැමීමට සිදුවී තිබුණත් අයවැය තුලින් විශ්‍රාම වැටුප් විෂමතා ඉවත්කර වසර 30ක සේවයක් සහිත විශ්‍රාමික රාජ්‍ය සේවකයාට 44% ක විශ්‍රම වැටුප් වැඩිවීමක් ලබාදීමට කටයුතු කළ බව ද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, රාජ්‍ය පරිපාලන, ආපදා කළමණාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි, විශ්‍රම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ‍ ජෙනරාල් ඒ. ජගත් ඩී. ඩයස් යන මහත්වරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශ්‍රාමිකයින් රැසක් සහභාගි වී සිටියහ.

    Last modified on අඟහරුවාදා, 08 ඔක්තෝබර් 2019 19:43

    Latest News