බ්ලුමැන්ඩල් සංඛ 22 දක්වා තවදුරටත් රිමාන්ඩ්

ඔක් 08, 2019

    බ්ලුමැන්ඩල් සංඛ නමැත්තා ලබන 22 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි පාතාල කල්ලි නායකයෙකු බව කියන මෙම රණසිංහ ආරච්චිගේ සංඛ හෙවත් බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා ඉකුත්දා සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය හමුවේ බාරවීමෙන් පසුව රිමාන්ඩ් භාරයට පත් කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියම කර තිබිණි.

    පැමිණිල්ල අද(08) කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි. ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරු ලබන 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටයි නියම කර ඇත.

    2018 වසරේ දෙසැම්බර් මස 26 වනදා මට්ටක්කුලිය, හේනමුල්ල ප්‍රදේශයේදී දිනේෂ් එරංග නැමැති අයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබිණි.

    Last modified on අඟහරුවාදා, 08 ඔක්තෝබර් 2019 15:43

    Latest News