වැස්සේම කාපට් එළීමට ජනතා විරෝධය

නොවැ 26, 2018

    අබලන්ව තිබු අම්බලන්තොට, රිදියගම මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර අවිදිමත්ව මාර්ගය ඉදිකරන විට ප්‍රදේශයේ ජනතාව ඒ සදහා විරෝධය එල්ල කරන ලදී.

    වසර 50 කට අධික කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් මාර්ගය අබලන්ව තිබියදී පසුගිය 27 වැනි දා එම මාර්ගයේ පළමු අදියර ප්‍රතිසංස්කරණය වෙනුවෙන් වැඩ ආරම්භ කිරීම සිදු කෙරුණි.

    රුපියල් ලක්ෂ හාරසියයකට අධික මුදලක් මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණය කටයුතු සදහා යොදවා ඇති අතර මේ තුලින් අම්බලන්තොට,මැලේකොලනිය, බෝලාන ,කොග්ගල්ල ,රිදියගම ප්‍රදේශයේ ජනතාවට මෙන්ම එම මාර්ගය භාවිතා කරනු ලබන ජනතාවට ද මින් පහසුකම් සැලසේ.

    නමුත් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේදී අදාළ කොන්ත්‍රාත්කරු නිසි ප්‍රමිතීන් ඉක්මවා ගොසින් ප්‍රදේශයට අධික වර්ෂාවක් පවතින අවස්ථාවක අදාළ මාර්ගයේ කාපට් තට්ටුව එලීමට කටයුතු කිරීමෙන් ඉදිරියේ දී මාර්ගයේ සිදුවන හානිය සම්බන්ධයෙන් ගැටළුවක් මතුව තිබේ.

    කෙසේ නමුත් මේ ආකාරයෙන් අවිදිමත්ව මාර්ගය ඉදිකරන අවස්ථාවේ මාර්ග සංවර්ධන අධිකාරියේ තාක්ෂණික නිලධාරියාද එම ස්ථානයේ නොසිටි බව ප්‍රදේශයේ ජනතාව පවසයි.

    මේ අතර මාර්ගය අවිදිමත්ව සිදුකිරීමට විරෝධය දැක්වූ පිරිස අදාළ තාක්ෂණික නිලධාරියාට දුරකථන ඇමතුමක් දී එම ස්ථානයට ගෙන්වා ගත් බවත් ඔවුන් කියා සිටී.

    කෙසේනමුත් මේ ආකාරයෙන් ජනතාවගේ විරෝධය නිසා කාපට් එළිම නතර කලත් ඒ වනවිටත් වර්ෂාවේ මීටර් 100 කට අධික දුරක් කාපට් එලා තිබුණ බව ද ඔවුන් පවසයි.

    මේ ආකාරයෙන් නිලධාරීන්ගේ නිසි අධීක්ෂණයක් නොමැතිව බොහෝ විට ඔවුන්ගේ අනුදැනුම ඇතිවද සිදුවන මෙවැනි අවිදිමත් සංවර්ධන කටයුතු නිසා මේ රටේ දිනෙන් දින විශාල මුදල් නාස්තියක්ද සිදුවේ.

    මෙහිදී මෙම මාර්ගයේ වැඩ ආරම්භ කල දිනයේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද කියා සිටියේ මේ ආකාරයෙන් සිදුකරන අවිදිමත් සංවර්ධන කටයුතු සමබන්ධයෙන් නීතිමය වශයෙන් අදාළ කොන්ත්‍රාත්කරුට මෙන්ම අදාළ අධීක්ෂණ කටයුතු සිදුකල නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන බවයි.

    Latest News