පොහොට්ටුවේ අවසානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්: වැඩි ඈතක් යන්නේ නෑ: පා.ම. දුමින්ද

සැප් 30, 2019

    පොහෝට්ටුවේ ජයග්‍රහණය ද, තම ලකුණුද වටින්නේ කියලා තීරණය කරන්න වේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසයි.

    කැකිරාව ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    කැකිරාව ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බළ මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කැකිරාවේදී පැවැත්විණි.

    අනතුරුව අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා.......

    දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාටවත් වට්ටන්න පුළුවන්ද? ඔබතුමන්ලා දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය, මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා ,එදා බණ්ඩාරනායක මැතිතුමා ඝාතනයට ලක් වුණාට පස්සේ සිරිමාවෝ මැතිණිය මේ පක්ෂය භාර ගත්තා. පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මැතිතුමන්ගේ, පක්ෂය පෝෂණය කරපු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දුවයි- පුතයි දෙන්නත් මේ පක්ෂය දාලා ගියා. මේ පක්ෂයෙන් අයින් වෙලා අලුත් පක්ෂ හැදුවා, වෙනත් පක්ෂ වලට ගියා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්න, නැති කරන්න පුළුවන්කම තිබුණාද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න ඒ කාටවත් බැරි වුණා, අවසානයේ ඒ අයටත් සිද්ධ වුණේ ආයේ පාරක් මහ ගෙදර එන්නයි. ගිය ගමන පැත්තකින් තියලා, ගිය ගමන තේරුම් අරගෙන නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මහ ගෙදර තමයි ඒ සියලු දෙනාම නැවතුනේ. අදත් අපට ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා.

    අදත් මේ හැමෝම කථා කරන පක්ෂයක්නේ පොහොට්ටුව, දැන් පොහොට්ටුවේ ඉන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය, ඇයි අද ඒ ගොල්ල පොහොට්ටුවේ ඉන්නේ, මහින්ද රාජපක්ෂ කියන නමත් එක්ක එතුමාට තියෙන ආකර්ශණයත් එක්ක ඉන්නවා ඇරෙන්න වෙන මොකටද එතන ඉන්නේ. ඒ නිසා පොහොට්ටුවේ අයගේ අවසානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒක වැඩි ඈතක් යන්නේ නෑ. මම විශ්වාස කරනවා ඉදිරි අවුරුද්දක් වගේ කාලය තුළ ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතක කරලා අලුත් ගමන් ගියපු බොහෝ දෙනා නැවත වතාවක් මේ මහ ගෙදර ශක්තිමත් කරනවා කියන එක අපිට විශ්වාසයි. එතන හරයක්, මතයක්, මතවාදයක් කිසි දෙයක් නෑ, ඒ නිසා ඔබතුමන්ලා දැක්කා පහුගිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ සමහර වෙලාවට කොට්ඨාශයේ ඉල්ලන්නේ මොකාද කියලවත් දන්නේ නෑ. මේකට පැවැත්මක් නෑ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමාරුකම්, ප්‍රශ්න තියෙනවා හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගතයේ නැවත වතාවක් මේ රටේ ශක්තිමත්ම පක්ෂය බවට පත් වෙනවා. ඒක වලක්වන්න කාටවත් බෑ.

    අපි - පොහොට්ටුවට එකතුවෙන එක ගැන දැන් කථා කරනවා. අපි මීට දවස් දෙකකට කලින් අපේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වුණා, අපි එතනදී පැහැදිලි තීන්දුවක් ගත්තා අපිට පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න වුවමනාවක් නෑ, මේ අපේ අනාගතය වෙනුවෙන් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය වෙනුවෙන්. අපි පොහොට්ටුවට ගිහින් සම්බන්ධ වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය පිළිබඳව අපිට ලොකු අවධානමක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිල ගැනීම, යට කිරීම තමයි පොහොට්ටුවේ අරමුණ වෙලා තියෙන්නේ. රෑට රූපවාහිනිය බැලුවම පොදු ජන පෙරමුණේ මාධ්‍ය සාකච්ජාවේ පිටි පස්සේ තියෙන්නේ පොහොට්ටු ලකුණ, උඩින්ම මහින්ද මහත්තයා, දෙවනියට ඉන්නවා ගෝඨා, තුන්වැනියට ඉන්නවා බැසිල්, මේ පොහොට්ටුව රාජපක්ෂවරුන්ගේ කියන එකනේ මේ ඒ අය කියන්නේ. එහෙම නම් අපිට පුළුවන්කමක් තියෙනවාද මේ දැවැන්ත ඉතිහාසයක් තියෙන, විශාල කැපකිරීම් කරලා තියෙන, මේ රට වෙනුවෙන් බොහෝ තීන්දු තීරණ අරගෙන රට හරිමාවතට ගෙන ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවේ ගැටගහලා, පොහොට්ටුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කරන්න අපිට පුළුවන්කමක් නෑ.

    මහින්ද රාජපක්ෂ මහත්තයාට ගෝඨාභය රාජපක්ෂ පරද්දන්න ඕන වුණාට, අපි එතන හිටගත්තොත් දිනන්න වැඩ කරනවා මිසක්, පරද්දන්න අපි එකතු වෙලා වැඩක් නෑ,අපි එකතු වෙනවා නම් දිනන්නයි අපි එකතු වෙන්න ඕන. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට සමහර විට පරද්දන්න ඕනකමකුත් ඇති නාමල්ගේ අනාගතය වෙනුවෙන්. මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා ඉඳන් වැඩ කලේ නාමල්ව බලයට ගේන්න, නාමල්ව මේ රටේ ජනාධිපති කරන ගමන වෙනුවෙන් තමයි හැසිරිලා, තීන්දු අරන්, වැඩ කරලා තියෙන්නේ. මේ සේරම කරලා තියෙන්නෙ ඒ අනුව. ඒ වගේම අපේ අයත් ඉන්නවා එකතු වෙන්න වගේ යන කොට ඉස්සරලා ගිහින් ඇප දාගන්න යනවානේ, ඔන්න වැඩේ හරි සර් අපිත් ආවා පක්ෂයත් එනවා කියලා. එවැනි ඇප දාගන්නා අය සම්බන්ධයෙන්, ඔවුන්ගේ කාරණා සම්බන්ධයෙන් අපි බලන්නේ නෑ යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    Latest News