හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ

සැප් 25, 2019

    සදහිරි සෑ බුදු පිළිම වහන්සේ සෑදීමට රේගුවට පැවරීමට තිබු රත්‍රං කිලෝ 8 ක් ලබාදීමේ සිද්ධියේ සැකකරුවකු වු හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර මහතාගේ අපේක්ෂිත ඇප ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද ප්‍රතික්ෂේප කළේය.

    පොදු දේපල පනත යටතේ වු නඩුවකට අපේක්ෂිත ඇප ලබා දීමට තම අධිකරණයට නෛතික ප්‍රතිපාදන නැතැයි පවසමින් මහේස්ත්‍රාත් වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණ.

    එ අනුව ජගත් ප්‍රේමලාල් විජේවීර මහතාගේ අපේක්ෂිත ඇප අයදුම්පත නිෂ්ප්‍රභා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය. මෙම සිද්ධියට අදාළව හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර මහතා සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පසුගිය නඩුව කැදවූ දිනයේ මහේස්ත්‍රාත් වරයා නියෝග කර සිටියේය.

    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාගේ උපදෙස් අනුව කිලෝග්‍රෑම් 8 ක බරකින් යුත් රත්තරන් සමාධි පිළිමයක් සැදීමට ශ්‍රී ලංකා රේගුව සතු රත්තරන් ලබාදී ඇති බව පොලිසිය සිදු කළ විමර්ශන මගින් අනාවරණය කර ඇත.

    සාපරාධී විශ්වාසය කඩ වී ඇති බවත් පොදු දේපල සාවද්‍ය පරිහරණය යන චෝදනා යටතේ සැකකරුවන්ට චෝදනා ගොනු කරන බවත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව සදහිරු සෑය අනුරාධපුරයේ ඉදිරිකිරිම සිදුවිය.

    Latest News