සඳහිරු සෑ සමාධියට රේගු රත්‍රං ගැනීමට එරෙහි පැමිණිල්ලක්: රේගුවේ 02 අත්අඩංගුවට ගැනීමේ නියෝගයක්

සැප් 19, 2019

    සඳහිරි සෑයේ තැන්පත් කළ බුදු පිළිම වහන්සේ නිපදවීමට ශ්‍රී ලංකා රේගුවේ තිබු රත්‍රං කිලෝ 8 ක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රාජපක්ෂ තාරක සෙනෙවිරත්න අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

    අනුරාධපුර සඳහිරු සෑයේ තැන්පත් කළ සමාධියට ශ්‍රී ලංකා රේගුව සතු රත්තරන් ලබාදීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ පොදු දේපල සාවද්‍ය පරිහරණය යන චෝදනා යටතේ සැකකරුවන්ට චෝදනා ගොනු කරණ බව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට පැවසීය.

    එයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපති උපදෙස් ලබාදී ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුනී. ඒයට පොලිස් කණ්ඩායම් දෙකක් යොමු කළ බවත් ඔවුන් නිවෙස් වලින් බැහැරව සිටින බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය

    සැකකරුවන් රටින් පිටවිමේ හැකියාවක් ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර මහේස්ත්‍රාත් වරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය. ඒ බව ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසටද නියෝග කෙරිණ.

    උතුරු මුහුදේදි අත්අඩංගුවට ගත් රත්‍රං කිලෝ 45.3ක් අතරින් රත්‍රං කිලෝ 8 ලබා දී තිබේ. එය රේගු ආඥාපනතට පටහැනිව සිදු කර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඔක්තෝබර් 8 වනදා අධිකරණයට වාර්තා කරන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

    සඳහිරි සෑය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව අනුරාධපුර පූජා නගරයේ ඉදිකරණු ලැබිණ.

    Latest News