ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය අත්හිටුවීමට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රතික්ෂේපයි

සැප් 25, 2019

    අලුතින් නාමයෝජනා පත්‍ර කැඳවීමකින් තොරව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කරයි.

    මෙම පෙත්සම අද(25) විජිත් මළල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

    දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බවයි. ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

    ඇල්පිටිය ප්‍රදේශය තුළ පදිංචි යේෂාන් නයනජිත් ඇතුළු ඡන්දදායකයින් තුන්දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයින් හතරදෙනා සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය භාර තේරීම්භාර නිලධාරියා නම් කර තිබේ.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා දින නියම කිරීම සිදු කර ඇත්තේ මැතිවරණ කොමිසමේ රැස්වීමක් පැවැත්වීමකින් තොරව බවයි. එබැවින් අදාළ දින නියම කිරීම නීතියට පටහැනි බවද ඔවුන් පෙන්වා දී ඇත.

    ඊට අමතරව 2017 වසරේ කැඳවනු ලැබූ නාම් යෝජනා පදනම් කරගෙන අදාළ මැතිවරණය නැවත පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී යැයි ද පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.

    මෙම කරුණු මත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

    Latest News