ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය අත්හිටුවන මූලික අයිතිවාසිකම් පෙත්සම කල් තැබේ

සැප් 20, 2019

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 24 වැනි දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද (20)  බුවනෙක අලුවිහාරේ, මුර්දූ ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී වගඋත්තර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සමට අදාළ නොතිසී තමන්වෙත නිසි පරිදි ලැබී නොමැති බවයි.

    ඒ අනුව වගඋත්තරකරුවන්ට අවශ්‍ය ලේඛන ලබාදෙන මෙන් පෙත්සම්කරුවන්ට දැනුම් දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම ලබන 24 වැනි දින සිදු කරන බව නියම කළා.

    ඇල්පිටිය ප්‍රදේශය තුළ පදිංචි යේෂාන් නයනජිත් ඇතුළු ඡන්දදායකයින් තිදෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයින් හතරදෙනා සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය භාර තේරීම්භාර නිලධාරියා නම් කර තිබේ.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා දින නියම කිරීම සිදුකර ඇත්තේ මැතිවරණ කොමිසමේ රැස්වීමක් පැවැත්වීමකින් තොරව බවයි.

    එබැවින් අදාළ දින නියම කිරීම නීතියට පටහැනි බව ද ඔවුන් පෙන්වා දේ.

    ඊට අමතරව 2017 වසරේ කැඳවනු ලැබූ නාම යෝජනා පදනම් කරගෙන අදාළ මැතිවරණය නැවත පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී යැයි ද පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.

    මෙම කරුණු මත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කර තිබෙන ගැසට්නිවේදනය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Last modified on සිකුරාදා, 20 සැප්තැම්බර් 2019 16:34

    Latest News