අයහපත් කළගුණය ඉදිරියටත්: කළු, නිල්වලා සහ ගිං ගංගාවල ජල මට්ටම ඉහළට

සැප් 23, 2019

    කළු, නිල්වලා සහ ගිං ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමේ පවතී. ගිංගඟේ ජල මට්ටම තවලම සහ බද්දේගම ප්‍රදේශවලදී ඉහළ යමින් පවතින අතර, තවලම ප්‍රදේශයේ සුළු ගංවතුර තත්වයක් ද ඇතිවී තිබේ. නිල්වලා ගඟ පනාඩුගම ප්‍රදේශයේ ද අද සවස් වනවිට ගංවතුර තත්වයක් දක්නට ලැබිණ.

    කිරඹආර ඔය පිටාර ගැලීමෙන් පහත්බිම් රැසක් හා මාර්ග කිහිපයක් ජලයෙන් යටවිය. නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් අකුරැස්ස, සියඹලාඔය, කඹුරුපිටිය ප්‍රදේශවල ජල ගැලීමක් ඇතිවී තිබේ. කඹුරුපිටිය, ලේනබටුව වැව සය වසරකට පසු වාන් දමමින් පවතී. මේ නිසා ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවිය.

    මේ අතර ගංවතුර බැසයාම වේගවත් කිරීම සඳහා නිල්වලා ගඟේ මෝය කට බැකෝ යන්ත්‍ර යොදා පුළුල් කෙරිණ.

    අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල, බද්දේගම මාර්ගයේ දංගෙදර, කහදූවවත්ත, යක්කලමුල්ල, හිමදූව ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවිය. වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ. මාපලගම මාර්ගයේ බෝපිටියමුල්ල ප්‍රදේශයේ ගසක් මාර්ගයට කඩා වැටීමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර විය.

    ආපදා තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 841 දෙනෙකු බලපෑමට ලක්ව ඇතැයි, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. එම පවුල් සංඛ්‍යාව 293ක්. පූර්ණ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 5ක් වන අතර, අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 41ක්. ඉමදූව, හඹරාදූව, අක්මීමන, අම්බලන්ගොඩ, යක්කලමුල්ල, බද්දේගම, වැලිවිටිය, දිවිතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ. විපතට පත්වූවන්ට පිසූ ආහාර ලබාදීමට පියවර ගෙන තිබේ. කඩිනම් සහන සැලසීම සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්‍ෂ 5ක්.

    බණ්ඩාරවෙල, වෑවතැන්න ප්‍රදේශයේ රක්‍ෂිතයක තිබූ ගසක් කඩා වැටීමෙන් ඊයේ රාත්‍රියේ නිවසකට හානි සිදු විය. වෑවතැන්න රෝහලට පිවිසෙන මාර්ගය ද අවහිර වී තිබේ.

    Last modified on සදුදා, 23 සැප්තැම්බර් 2019 20:39

    Latest News