මහනුවර ලක්‍ෂ 05 කට පානීය නල ජලය ව්‍යාපෘතියක් අගමැති අරඹයි

සැප් 21, 2019

    අතීත ශ්‍රී විභූතිය යළි ප්‍රතාපවත් කරමින් මහනුවර නගරය ආර්ථික, වෙළෙඳ, අධ්‍යාපන හා සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසයි.

    අද (21) කුරුඳුගහමඩ ජල ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීම, බොක්කාවල ජල ව්‍යාපෘතියට මුල්ගල තැබීම, නව තැපැල් කාර්යාලය විවෘත කිරීම සහ දොරගමුව ජල ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීම යන වැඩසටහන් රැසකට සහභාගී වෙමින් අනතුරුව වත්තේගම, ජම්බුගහපිටිය, දොරගමුව මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේ පැවැති ජනහමුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    මහනුවර උතුර පහතදුම්බර ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක වන විශාලතම ජල යෝජනා ක්‍රමය වන අතර, මෙ මගින් 2025 දී ලක්‍ෂ 05 ක ජනතාවකට පානීය නල ජලය සැපයීමට කටයුතු කරන බව ද වික්‍රමසිංහ මහතා පෙන්වාදුන්නේය.

    මෙහිදී අදහස් දැක්වූ නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මෙම ව්‍යාපෘතිය ලංකාවේ දැනට ක්‍රියාත්මක වන විශාලතම ජල ව්‍යාපෘතිය බවත්, ලක්‍ෂ 05 කට මේ ව්‍යාපෘතිය හරහා ජලය ලබාදිය හැකි බව පැවසීය.

    අමාත්‍ය රාවුෆ් හකීම් “මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන එක්සිම් බැංකුවේ ණය ආධාර ලැයිස්තුවේ මෙම ව්‍යාපෘතියේ නම ඇතුළත් කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමා ලබාදුන් සහයෝගයට මා ස්තූතිවන්ත වෙනවා. අග්‍රාමාත්‍යතුමන් එම සහයෝගය නොදුන්නා නම් අපට මෙම සහනාධාර ණය ලැබෙන්නේ නැහැ යැයි කියා සිටියේය.

    මෙම අවස්ථාවට රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්, නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, හිටපු මධ්‍යම පළාත් මන්ත්‍රී සහ පහතදුම්බර එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක තිලිණ බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ක්ෂූවාන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද රැසක් සහභාගීවී සිටියහ.

     

     

    Latest News