නව ආයෝජන අවශ්‍යතා සඳහා පසුබිම සකසා අවසන්........ අගමැති රනිල්

සැප් 18, 2019

    රට තුළ නව ආයෝජන ඇති කිරීමට අවශ්‍ය පසුබිම මේ වනවිට සකස් කර ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    එ අනුව ඉදිරි වසර 05 ක කාලය තුළ නව රැකියා ආදායම් මාර්ග බිහි කිරීමට කටයුතු කරන බව අද (18) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී අග්‍රමාත්‍යවරයා පැවසීය. වත්මන් ආණ්ඩුව 2015 වසරේදි රට භාර ගන්නා විට අභියෝග ගණනාවකට මුහුණපෑමට සිදුවූ බව වික්‍රමසිංහ මහතා පෙන්වාදුනී. ක්‍රමානුකූලව එම අභියෝග ජයගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ගමන ඇරඹිමට හැකිවූ බවත් එය පදනම් කර ගනිමින් රැකියා අපේක්ෂිකත සියලූ දෙනාටම නව රැකියා ලබාදීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (18) දින අරලියගහ මන්දිරයේ දී පැවති බාහිර උපාධිධාරීන් 4200 ක් සඳහා අභ්‍යාසලාභී පුහුණු නිලධාරී පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.......

    "රැකියා බිහි කිරීමේ මාර්ගය ශක්තිමත් කොට ඉදිරියට ගෙන යෑම අප දැන් ආරම්භ කර තිබෙනවා. නමුත් මෙම තත්වයට පැමිණීමට කාලයක් ගත වු බව මම පිළිගන්නවා. ඒ පිළිබඳව ඔබ හිත්වේදනාවෙන් පසුවෙනවා ඇති. එම ගමන කඩිනම් කළ හැකි ආර්ථික ශක්තියක් එදා තිබුණේ නැහැ. එලෙස කඩිනමින් කටයුතු කළා නම් පත්වීම් ලබන සියලූ දෙනාටම වේතන ගෙවීමේ ශක්තිය ඇතැම් විට නැතිවීමට ඉඩකඩ තිබුණා. නමුත් අපි දැන් නව රැකියා හා ආදායම් මාර්ග බිහි කිරීමේ ශක්තිය ඇතිව එම ගමන ආරම්භ කර තිබෙනවා. රැකියා අපේක්ෂි ත සියලූ දෙනාටම ආදායම් මාර්ග ඇති කර ගත හැකි වැඩපිළිවෙළක් ඉදිරි වසර 05 ක කාලය තුළ අප සකස් කරන බව සඳහන් කරන්න කැමැතියි.

    ඒ තුලින් අපට රට ගොඩගත හැකියි. අපේ රට ගොඩගැනීමට වෙනත් රටවලට යුතුකමක් හෝ වගකීමක් නැහැ. ඒ නිසා අපි අපේ ශක්තියෙන් රට ගොඩනැගීමට පියවර ගත යුතුයි. එම ශක්තිය තුලින් අනාගතයට බියෙන් තොරව මුහුණදීමට හැකියාව ලැබෙන බව සඳහන් කළ යුතුයි.

    වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එදා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල සේවාවක් ඉටුකළ බව පැවසූ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විද්‍යා පීඨ ආරම්භ කිරීම, පුහුණු ගුරුවරු බදවා ගැනීම, මහපොළ ශිෂ්‍යත්වය ලබාදීම ඒ අතර කිහිපයක් වන අතර බව පෙන්වාදුන්නේය.

    උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නයට ක්‍රමානුකූලව විසඳුමක් ලබාදීමට වත්මන් රජයට හැකිවූ බවත්, අධ්‍යාපනය වෙනුවෙන් මෙතරම් සේවාවක් සිදු කළ ආණ්ඩුවක් ඉතිහාසයේ නොතිබූ බවත් වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයින්, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අලි සාහිර් මවුලානා සෙයිඩ්, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිවණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ජාතික ප්‍රමතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් වී. සිවඥාණසෝති යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

    Latest News