පාසල්වල අතරමැදි ශ්‍රේණි පුරප්පාඩු සඳහා සිසුන් හතලිස් හතර දහසකට අවස්ථාව

සැප් 16, 2019

    ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවලට ඇතුළත්වීමට සිසුන් 44,568කට අවස්ථාව සැලසී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම වඩාත් විධිමත් හා විනිවිදභාවයෙන් සිදුකිරීමට පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත්කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අමාත්‍යාංශ නිලධාරීන්ට පසුගියදා උපදෙස් දෙනු ලැබිණ. එ අනුව පවතින සිසු පුරප්පාඩු ප්‍රමාණය විදිමත්ව හඳුනා ගැනිමට හැකි වු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    දිවයින පුරා පිහිටි ජාතික පාසල්වල 1,5,6, සහ 11 ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණිවල පවත්නා පුරප්පාඩු සහ බඳවාගැනීමේ ක්‍රමවේදය 2019-07-03 වැනි දින පුවත්පත් මගින් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියේ පල කෙරිණ. එ අනුව පුරප්පාඩු පවත්නා ඕනෑම ජාතික පාසලක් වෙත අයදුම්පත් යොමු කිරීමට එමගින් අවස්ථාව සැලසිණ.

    බඳවාගැනීමේ ක්‍රමවේදයට අදාළ නිර්ණායක අනුව අයදුම්කරුවන්ටම සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට පෙර, හිමිවන ලකුණු සංඛ්‍යාව දැනගැනීමට අවස්ථාව සලසා තිබීම මෙම වැඩපිළිවෙලේ විශේෂත්වය වේ. මෙයින් සිසුන් ඇතුළත් කිරීමේ දී සිදුවිය හැකි අක්‍රමිකතා වැළකෙන අතර, නියමිත සුදුසුකම් සපුරන අයදුම්කරුවන්ට පමණක් අදාළ පාසල් වෙත ඇතුළත් වීමට ඉඩප්‍රස්ථාව සැලසේ.
    මේ අනුව සිංහල මාධ්‍ය සිසුන් 25,419 දෙනෙකුටත්, දෙමළ මාධ්‍ය සිසුන් 19,149 දෙනෙකුටත් දිවයින පුරා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ඇතුළත්වීමේ අවස්ථාව සැලසි තිබේ. මේ වැනි අවස්ථාවක් සැලසීමට හැකිවීම බොහෝ අභියෝග මැදින් ලබාගත් ප්‍රශස්ත ජයග්‍රහණයක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

    Latest News