සහ්රාන් හෂීම් ගැන බුද්ධි වාර්තා 97ක් තිබිලා

සැප් 03, 2019

    ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ එම සංවිධානයේ නායක සහ්රාන් හෂීම් ගැන වාර්තා 97 ක් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමුකර තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය වෙයි.

    2016 වසරේ සිට පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ දින දක්වා කාලසීමාව තුළ ජාතික තව්හිද් ජමාත් සංවිධානය සහ එම සංවිධානයේ නායක සහරාන් හෂීම් පිළිබඳව මෙම බුද්ධි වාර්තා 97 රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කර තිබූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

    පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද(03) යළි සලකා බැලීම ආරම්භ විය.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා එම විනිසුරු මණ්ඩලයේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කරයි. බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල් .ටී. බී දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු අදාළ විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරති.

    පෙත්සම් සලකා බැලීම ආරම්භ කරමින් එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වා ඇත. මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවය බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති දිවුරුම් පෙත්සමක් පිළිබඳව කරුණු දක්වා තිබේ. එම දිවුරුම් පෙත්සමේ අදාළ වාර්තා 97 පිළිබඳව සඳහන් වී ඇති බව ප්‍රකාශ කර ඇත.

    එම වාර්තාවල ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සැකකරුවන්ගේ නම්, ලිපින, දුරකථන අංක ආදිය සඳහන්ව තිබුණද ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවූයේ වගඋත්තරකාර පාර්ශ්වය පැවැති දැඩි නොසැලකිලිමත්භාවය හේතුවෙන් යැයි ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා චෝදනා ඉදිරිපත් කර තිබේ.

    මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ආරක්ෂාව සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී තිබෙන බවත් ප්‍රහාරය පිළිබඳව කලින් තමන්ට කිසිවකු තොරතුරු ලබා නොදුන් බව සඳහන් කරමින් අත් පිස ගැනීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ට කිසිදු ඉඩක් නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඔවුන් මෙම තත්වයට වගකිව යුතු බවයි අවධාරණය කර ඇත.

    එම ප‍්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමිවූ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි නන්දන සිරිමාන්න , සංචාරක කර්මාන්තයේ නියැළි ව්‍යාපාරික ජනත් විදානගේ , ශ්‍රී ලංකා නීතීඥ සංගමය , හෙන්රි මේරියන් අශෝක් ස්ටීවන් , සරත් ඉද්දමල්ගොඩ සහ හේල් එවන්ස්ටන් ප‍්‍රනාන්දු ජයවර්ධන යන පියතුමන්ලා , නාගානන්ද කොඩිතුවක්කු , ජූඩ් පෙරේරා , නිමල් කුමාරසිරි ඇතුළු පුරවැසියන් පිරිසක්ද , පූජ්‍ය අගුළුගල්ලේ ජිනානන්ද හිමි සහ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීම්වලින් තුවාල ලැබූ නීතිඥවරයෙකු වන මුදිත ඒකනායක මහතා ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ඉදිරිපත් කර තිබේ.

    බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ නියෝජ්‍ය පොලිස්පති ශ්‍රී ලාල් දිසානායක සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

    මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටින අතර අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා මහතා පෙනී සිටියි.

    මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා පෙනී සිටියි.

    Latest News