මහජන බැංකු පනත සංශෝධනය ගැන මුදල් අමාත්‍යංශයේ අදහස

සැප් 03, 2019

    මහජන බැංකු පනත සංශෝධන කෙටුම්පත මගින් මහජන බැංකුව කිසිදු අයුරකින් පෞද්ගලීකරණය නොවන බව රජය අවධාරණය කරයි.

    මහජන බැංකුවේ බලයලත් ප්‍රාග්ධන සීමාව වැඩි කර ගැනීම සහ භාණ්ඩාගාර ඇපකරයක් නොමැතිව ණයකර නිකුත් කිරීමේ හැකියාවක් ඇති කිරිම අරමුණින් පනත සශෝධනය කිරිම සිදුවේ.

    1961 අංක 29 දරණ මහජන බැංකු පනතේ 13 වන වගන්තිය ප්‍රකාරව මහජන බැංකුවේ පරම අයිතිය ශ්‍රී ලංකා රජය සතු වේ. එහි වගකීම පැවරෙනුයේ මහ භාණ්ඩාගාරයේ ලේකම් වෙත ය. මහජන බැංකුවේ කොටස්, සමුපකාර සමිති වෙත හෝ මහ භාණ්ඩාගාරයේ ලේකම් වෙත හැර අන් කිසිවෙකුට අලෙවි කළ නොහැකි බව එම පනතේ පැහැදිලිවම සඳහන් වේ.

    හෙට දින (04) විවාදයට හා ඡන්ද විමසීමට නියමිතයි. මහජන බැංකු පනතේ සංශෝධන කෙටුම්පතෙහි 13 වන වගන්තිය සංශෝධන නොකරන බැවින් මහජන බැංකුව පෞද්ගලීකරණය වීම යනුවෙන් ප්‍රකාශ කිරීම සම්පූර්ණ අසත්‍යයක් බව මුදල් අමාත්‍යතයංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. යෝජිත සංශෝධන මඟින් පනතෙහි ඇතුළත් වගන්ති 12, 20, 21 සහ 43 පමණක් සංශෝධනය කිරීම සිදුවේ.

    මහජන බැංකුවේ බලයලත් ප්‍රාග්ධන සීමාව දැනට පවත්නා රුපියල් බිලියන 1 සිට රුපියල් බිලියන 50 දක්වා වැඩි කිරීමත්, අනෙකුත් රාජ්‍ය බැංකු සිදු කරන ආන්දමට, භාණ්ඩාගාර ඇපකර නොමැතිව, ණයකර නිකුත් කිරීමේ හැකියාව මහජන බැංකුවට ලබාදීම සංශෝධනවලට ලක්වන වගන්ති හතරේ ප්‍රධාන අරමුණ බව මුදල් අමාතයංශය පවසයි.

    ලංකා බැංකුව ඇතුළු අනෙකුත් රාජ්‍ය බැංකු පනත්වලට අනුකුලව එම බැංකුවල භාණ්ඩාගාරයේ ඇපකරයක් නොමැතිව, තම නියාමන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණයකර නිකුත් කිරීමේ හැකියාවක් සහ ක්‍රියාවලියක් පවතී. එසේ නමුදු එම බැංකු පෞද්ගලීකරණයකට ලක් වන බවට කිසිවෙකුත් චෝදනා එල්ල නොකරන බව මුදල් අමාත්‍යංශයේ නිවේදනයේ සඳහන්වේ.

    මහජන බැංකු පනත සංශෝධනයෙන් පසු, නිකුත් කෙරෙන ණයකර කිසිසේත් කොටස් ප්‍රාග්ධනය බවට පරිවර්තනය කළ නොහැකි බව රජය තහවුරු කරයි. 1961 අංක 29 දරණ මහජන බැංකු පනතෙහි 13 වන වගන්තියෙන් ඒ සඳහා ඉඩ ප්‍රස්ථාවක් ඊට නොමැති බැවිනි.

    මහජන බැංකු පනත සංශෝධන ක්‍රියාවලිය 2013 වසරේදී ආරම්භ විය. ඒ අනුව, මහජන බැංකු පනත සංශෝධනය කිරීමේ කෙටුම්පත මඟින් මහජන බැංකුව පෞද්ගලීකරණයට ලක් කිරීමට සැලසුම් කරන බවට ඇතැම් දේශපාලන නායකයින් විසින් මෙම අවස්ථාවේදී සිදු කෙරෙන ප්‍රකාශයන් මහජනතාව නොමඟ යවා පටු දේශපාලන වාසි ලබා ගැනීමට දරනු ලබන ප්‍රයත්නයක් මිස එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව අවධාරණය කෙරේ.

    Last modified on අඟහරුවාදා, 03 සැප්තැම්බර් 2019 13:25

    Latest News