ජනපති සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර හමුවක් (වීඩියෝ)

අගෝ 29, 2019

    අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය යොදාගැනීමට අදාළ කටයුතු මේ වන විට සකස් කරමින් තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ශ්‍රී ලංකා පොලිසිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය එක් ව දත්ත පද්ධති සම්බන්ධ කර ගනිමින් මෙම පොලිස් තොරතුරු සංනිවේදන පද්ධතිය ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කෙරිණි.

    ඒ අනුව අපරාධවලට සම්බන්ධවූවන්ගේ සහ නීතියේ රැහැනින් පලායන පුද්ගලයන්ගේ තොරතුරු එම පද්ධතියට අතුළත් කෙරෙන අතර ඕනෑම පොලිස් නිලධාරියෙකුට ඕනෑම ස්ථානයක සිට ස්මාර්ට් ජංගම දුරකථනයක් මගින් එම පද්ධතිය හා සම්බන්ධ වී අපරාධකරු හඳුනාගත හැකි බව ද අනාවරණය කෙරිණි.

    ඒ මඟින් අපරාධකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසු කර ගැනීමට මෙන් ම රථ වාහන වැරදි නිරික්ෂණය කිරීමට ද නියමිත බව සඳහන් විය.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡවක දී මෙම කරුණු අනාවරණය කෙරිණි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පොලිස් දෙපාර්තමේන්තුව තමන් යටතට පවරා ගැනීමෙන් අනතුරුව එහි මානව සම්පත් මෙන්ම භෞතික සම්පත් සංවර්ධනය කරමින් ගුණාත්මක සහ දියුණු පොලිස් සේවාවක් ස්ථාපිත කිරීමට පියවර රැසක් ගත් අතර ඒ යටතේ මෙම නව වැඩසටහන ද ක්‍රියාත්මක ය.

    මේ අතර දුම්රිය හරස් මාර්ගවල අනතුරු අවම කර ගැනීම සඳහා ක්‍රියාත්මක ක්‍රමවේදය පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට බදුන් විය.
    මෙරට දැනට ආරක්ෂක ගේට්ටු සහිත දුම්රිය හරස් මාර්ග 280ක් පමණ පවතින බවත්, තවත් දුම්රිය මාර්ග 344ක පමණ බෙල් ඇන්ඞ් ලයිට් ක්‍රමය ක්‍රියාත්මකවන බවත් සඳහන් කෙරුණු අතර ඉතිරි දුම්රිය මාර්ග 539 වෙනුවෙන් කඩිනමින් බෙල් ඇන්ඩ් ලයිට් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ද සඳහන් කෙරිණි.

    මේ අතර පොලිස් නිලධාරින්ගේ නිල නිවාස අවශ්‍යතාවය සහ පොලිස් ස්ථාන වෙත පහසුකම් ලබාගැනීම මෙන් ම කිලිනොච්චිය, මාන්කුලම්, යාපනය, පේදුරුතුඩුව, ඔඞ්ඩුසුඩාන්, මුලතිව්, මල්ලාවි පොලිස් ස්ථාන සහ යාපනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඇතුළු නව පොලිස් ස්ථාන ඉදිකිරීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව ද අවධානය යොමු විය.

    පොලිස් ස්ථානවල බැරැක්ක හා සනීපාරක්ෂ පහසුකම් සංවර්ධන සහ නිල නිවාස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 600ක් වෙන් කිරීමට ඉදිරි අය වැයට ඇතුළත් කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.

    එමෙන් ම දීර්ඝ කාලීනව උසස්වීම් නොලද නිලධාරින් 31,000ක් සඳහා උසස්වීම් ලබාදීමට අදාළ කටයුතු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ වන විට සූදානම් කර තිබෙන බවත් කාණ්ඩ 03ක් යටතේ එය කඩිනමින් ක්‍රියාවට නංවන බවත් සඳහන් කෙරිණි.

    අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    Latest News