සාගාර පර්යේෂණයට කොරියාවෙන් අති නවීන නෞකාවක්

අගෝ 21, 2019

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ ඉල්ලීම අනුව සාගර පර්යේෂණයට අති නවීන පර්යේෂණ නෞකාවක් පරිත්‍යාග කිරීමට සාගර පර්යේෂණය පිළිබද කොරියානු විද්‍යාතනය තීරණය කර තිබේ.

    කොරියානු සාගර පර්යේෂණ විද්‍යායතනයේ නියෝජිත කණ්ඩායමක් හා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අතර අද (21) පැවති සාකච්ජාවේදී මෙම තීරණයට එළබිණි.

    ජාතික ජලජ සම්පත් සංවර්ධන සහ පර්යේෂණ නියෝජිතායතනය [නාරා ] සහ කොරියානු සාගර පර්යේෂණ විද්‍යායතනය අතර ඒකාබද්ධ පර්යේෂණ සහයෝගිත වැඩසටහන පිළිබඳව කොරියානු නියෝජිත කණ්ඩායම හා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හමුවී සාකච්ජා කළහ.

    ඒ අනුව ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිතායතනයේ විශේෂඥන් සදහා පුහුණුව සහ නවීන පහසුකම් සැලසීම දෙරට අතර සාගර පර්යේෂණ සහයෝගිත වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මකයි. මෙම සාගර පර්යේෂණ කටයුතු පිළිබද ඒකාබද්ධ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද තීරණය කෙරිණ. සාගර පර්යේෂණ පිළිබද ඒකාබද්ධ මධ්‍යස්ථානය කල්පිටියේ ස්ථාපිත කිරීමට තීරණය කෙරුණ ඒ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 05 ක ආයෝජනයක් කිරීමටත් සාගර පර්යේෂණ කොරියානු විද්‍යායතනය එකඟතාව පල කළේය.

    ශ්‍රී ලංකාවේ ධීවර ජනතාව සහ ධීවර කර්මාන්තයේ ඉදිරි සංවර්ධනය සදහා ආධාර සැපයීමට කොරියානු රජය කැමැත්ත පල කර ඇති බව පර්යේෂණ විද්‍යායතනයේ නියෝජිත කණ්ඩායම පෙන්වා දුනී.

    මෙම අවස්ථාවට සිනොර් ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ අයේෂ් රණවක මහතා සහ ජාතික ජලජ සම්පත් සංවර්ධන සහ පර්යේෂණ නියෝජිතායතනයේ සභාපති ඊ.ඒ.එස්.කේ. එදිරිසිංහ මහතා, නාරා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ජෙනරාල් පාලිත කිත්සිරි මහතාද එක්ව සිටියහ.

    Latest News