සීගිරියේ වන අලින්ට පොකුණක්

අගෝ 21, 2019

    දැඩි නියඟය නිසා පීඩාවට පත්ව සිටින වන අලින්ට සහ වන සතුන්ට අවශ්‍ය ජල පහසුව සඳහා සීගිරිය වැව ඉස්මත්තේ ජල පොකුණක් ඉදිකර තිබේ.

    මේ දිනවල පවතින දැඩි නියං කාලගුණික තත්ත්වය හේතුවෙන් සීගිරිය අභය භූමියේ සියලු වැව් ජල උල්පත් සිඳී ගොස් ඇත. ඒ හේතුවෙන් වන අලින්ට සහ වන සතුන්ට බීමට අවශ්‍ය තරම් ජලය නොමැති වීමෙන් එම සතුන් දැඩි පීඩාවෙන් පසුවන බව වාර්තාවේ. එම ගැටලුවට විසඳුමක් ලෙස සීගිරිය වැව ඉස්මත්තේ ඉදිකළ මෙම ජල පොකුණ හීලෑ අලි දෙදෙනෙකු යොදවා විවෘත කිරීම අද(21) දින පෙරවරුවේ සිදු කෙරිණ.

    සීගිරිය වනජීවී කාර්යාලය සීගිරිය මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය පුරාවිද්‍ය කාර්යාලය සහ පින ව්‍යාපෘතිය මගින් මෙම වන සතුන් සහ වන අලින් සඳහා ජල තටාකය ඉදිකොට තිබේ.

    ප්‍රදේශයේ තරුණ පිරිසක්, වනජීවී අඩවි ආරක්ෂක ආර්. එම්. සී. බණ්ඩාරනායක මහතා හට කළ ඉල්ලීමකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත. පුරාවිද්‍ය නිලධාරීන්ගේ සහයෝගයෙන් "පින" ව්‍යාපෘතියේ සභාපති ආචාර්ය අරුණ අබේගුණවර්ධන මහතාගේ මූල්‍ය පරිත්‍යාගයෙන් සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක ශ්‍රමයෙන් මෙම ජල තටාකය ඉදි කර ඇත. වියළි කාලගුණික තත්වයන් හිදී භාවිත කිරීමට ස්ථිර ජලතටාකයක් ලෙස ඉදිකළ මෙම පොකුණ සඳහා රුපියල් ලක්ෂ 3ක් පමණ වැය කර තිබේ. සීගිරියේ මධ්‍ය ම සංස්කෘතික අරමුදල කාර්යාල සඳහා රැගෙන යන ජල නලයකින් මෙම පොකුණ සඳහා ජලය සැපයීම සිදු කොට තිබේ.

    රාජ්‍ය ආයතන තුනක එකතුවකින් සිදුකළ මෙම මාහැඟි ක්‍රියාව සතුන් වෙනුවෙන් සිදුකළ මහා පුණ්‍යකර්මයක් බව ප්‍රදේශවාසීහු පවසති.

    Latest News