දිඹුල සිසුවෙකුගේ අභිරහස් මරණය ගැන පොලිස් පරික්ෂණ

අගෝ 14, 2019

    පාසල් සිසුවෙකු අභිරහස් ලෙස මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය මරණ පරික්ෂණ වාර්තාවක් කැඳවයි.

    පාසල් සිසුවෙකු අභිරහස් ලෙස මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය ලවා පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා එහි වාර්තාව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහාතා අද (14) දිඹුල පොලිසියට නියෝග කර තිබේ.

    දිඹුල පොලිස් වසමට අයත් මවුන්ට් වර්නන් වත්තේ පදිංචිව සිටි හත් හැවිරිදි මුත්තුලිංගම් අරොෂ් නැමති පාසල් සිසුවා දින කිහිපයක් සිට අතුරුදහන්ව ඇති බවට එම පාසල් සිසුවාගේ බාප්පා විසින් දිඹුල පොලිසියට ඊයේ (13) උදෑසන පැමිණිල්ලක් කර ඇත. පසුව අතුරුදහන්ව සිටි ළමයා එම වතුයායේ දළු මඩුවක බරපතල ලෙස තුවාල සහිතව වැටි සිටියදී වතු කම්කරුවන් විසින් සොයා ගෙන තිබේ. තුවාල ලැබූ සිසුවා ඊයේ රාත්‍රි දික්ඔය මුලික රෝහල වෙත රැගෙන යන අතරතුර ජිවිතක්ෂයට පත් වි ඇති බවයි දිඹුල පොලිසිය පැවසුවේ.

    ජිවිතක්ෂයට පත් සිසුවාගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වන අතර මව පියාගෙන් වෙන් වී කිලිනොච්චි ප්‍රදේශයේ ජිවත්වන බවයි පොලිසිය කියා සිටියේය

    බාප්පා යටතේ හැදි වැඩුණු පාසල් සිසුවාට තවත් වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරයෙකු සිටින බවත්, තිදෙනාම බාප්පා විසින් රැක බලා ගන්නා බවයි දිඹුල පොලිසිය විසින් කරන ලද මුලික විමර්ෂණවලදී අනාවරණය වි ඇත.

    ජිවිතක්ෂයට පත් පාසල් සිසුවා විවිධ වද හිංසාවලට ලක් වි ඇති බවට සිසුවාගේ ශරිරය පුරා ඇති බරපතල තුවාලවලින් තහවුරු වන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරු කියා සිටිති.
    අභිරහස් ලෙස මිය ගිය සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය හෙට (15) දික්ඔය මුලික රෝහලේදි සිදු කිරිමට නියමිත අතර ජිවිතක්ෂයට පත් සිසුවාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය පරික්ෂණ පවත්වයි.

    Latest News