තඹුත්තේගම ගොවි උපවාසය අවසන්

අගෝ 12, 2019

    තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව දින 19 කට වැඩි කාලයක් උපවාසයේ යෙදුණ ගොවීන් සිය උපවාසය අත් හැරීමට අද (12) කටයුතු කර තිබේ.

    මහවැලි H කළාපයේ තඹුත්තේගම කොට්ඨාශයේ ගොවි ජනතාවට බලපා ඇති ගැටලු කීපයකට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින් එම කළාපීය නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිට පසුගිය 24 වැනි දින ගොවි ගෙවිලියන් පිරිසක් උපවාසයක් ආරම්භ කළහ.

    අඛණ්ඩව දින 19 කට වැඩි කාළයක් උපවාසයේ යෙදුණ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා හමුවී තම ඉල්ලීම් සඳහා කඩිනම් විසදුම් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කර තිබේ. අනතුරුව ජනාධිපතිතුමන් සමඟ සාකච්ජාවක් මෙන්ම ගොවි ගැටලු සඳහා දීර්ඝ කාලීන විසදුම් ලබා දීමට, යෝජනා මාලාවක් ඇතුළත් සන්දේශයක් දුමින්ද දිසානායක මහතාට භාර කරනු ලැබීය. එම සන්දේශය භාර ගත් දුමින්ද දිසානායක මහතා කඩිනමින් එම ගැටලු සඳහා විසදුම් ලබා දීමට පොරොන්දු විය.

    ඉල්ලීම් 10 ක් සම්බන්ධයෙන් ගොවි සංවිධාන 22 ක ගොවි ගෙවිලියන් උපවාසයක් ආරම්භ කරනු ලැබීය. තමන්ගේ යල කන්නයේ හානි වූ වගාවන් සඳහා අක්කරයකට රුපියල් 50 000 ක වන්දි මුදලක්, සෑම යල කන්නයේදීම බලපාන ජල ගැටලුවට විසදුමක් හා වන අලි ගැටලුවට විසදුමක් ඇතුළු ඉල්ලීම් 10ක් ඊට ඇතුළත් වේ.

    මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් හා අදාළ නිළධාරීන් සමග සාකච්ජා කර කඩිනමින් විසදුම් ලබා දෙන බවට දුමින්ද දිසානායක මහතා එහිදී පොරොන්දු විය. ඒ අනුව අඛණ්ඩව දින 19 කට වැඩි කාලයක් සිදු කළ උපවාසය අත් හරින බව ගොවි නායකයින් පැවසීය.

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 16:18

    Latest News