කටුනායකට පැමිණි ගුවන්යානා දෙකක් මත්තලට

අගෝ 08, 2019

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ අද(08) අළුයම කාළයේ පැවති අයහපත් කාළගුණික තත්ත්වය නිසා ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කෙරිණ.

    මෙයින් පළමු ගුවන් යානය වූයේ අද අළුයම 2.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 662 දරන ගුවන් යානයයි. එම යානය මත්තල ගුවන්තොටුපොළට අළුයම 3.15 ට ගොඩ බස්වා තිබුණි.

    මෙහි ගුවන් මගීන් සමග ගුවන් යානා කාර්යය මණ්ඩලය 155 ක් සිටි අතර, ඔවුන් ගුවන් යානයෙන් පිටතට නොබස්වා යානයට අවශ්‍ය ඉන්ධන සහ ආහාර සපයා දී යළිත් අලුයම 4.53 ට මත්තල ගුවන් තොටුපළෙන් පිටත්විය. අනතුරුව, අලුයම 5.39 ට කටුනායක ගුවන් තොටුපළ වෙත නිරුපද්‍රිතව මෙම ගුවන් යානය ගොඩ බස්වා තිබේ.මේ අතර අද අළුයම 2.50 ට සාජා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි එයා ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9503 දරන ගුවන් යානය ද මත්තල තොටුපොළ වෙත ගොඩ බස්සවා තිබේ.

    එහි ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය 168 ක් සිටි අතර, එම ගුවන් යානය අලුයම 3.38 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වනු ලැබීය.පසුව කටුනායක ගුවන් තොටුපළ අවට කාළගුණික තත්වය යහපත් වූ පසු අලුයම 4.34 ට මත්තල ගුවන් තොටුපළෙන් පිටත් වූ එම ගුවන් යානය අලුයම 5.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට කටයුතු කර තිබුණි.

    මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ අවට කාළගුණික තත්වය මදක් යහපත් වී ඇති අතර, ගුවන් යානා මෙහෙයුම් කටයුතු බධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදු කරමින් පවතී.

    Last modified on බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2019 09:34

    Latest News