ගෝඨාභයගේ කෞතුකාගාර නඩු විභාගය අත්හිටුවීමට නියෝගයක්

ජූලි 25, 2019

    ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට නඩුවේ විභාගය ඔක්තෝබර් 01 වනදා තෙක් අත් හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම සලකා බැලූ බුවනෙක අලුවිහාරේ, ගාමිණි අමරසේකර සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් එම නියෝගය කරුණු ලැබිණ.

    හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනකොට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

    එම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් එම අධිකරණ මගින් ප්‍රතික්ෂේප කර තිබුණ.

    එම ප්‍රතික්ෂේප කිරීමේ තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම විභාග කිරීමට තමන්ට බලයක් නොමැති බව පැවසු අභියාචනාධිකරණය එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළේය.

    එම අභියාචනාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය කැඳවනු ලැබීය.

    එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබාදුනී. අනතුරුව පෙත්සම් විභාගය ඔක්තෝම්බර් 01 වනදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල විශේෂ මහාධිකරණයේ නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙස දන්වා නියෝග නිකුත් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූලි 2019 17:23

    Latest News