මහානාමට හා පියදාස දිසානායක 09/09 යළි අධිකරණයට

ජූලි 25, 2019

    ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය එච්.කේ.මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 09 වනදා සිට විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

    සම්පත් අබයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද කැඳවු ලැබීය.

    එහිදී මෙම නඩුවේ පැමිණිලිකරු වු ඉන්දීය ජාතික ව්‍යාපාරික කේ.නාගරාජ මහතා විසින් අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලේ මුල් පිටපතක් තමන්ට ලබා දෙන ලෙස ඉකුත් නඩු දිනයේ විත්තියේ නිතිඥවරු අධිකරනයෙන් ඉල්ලීම කර තිබිණ.

    එම ඉල්ලිම පරිදි අල්ලස් කොමිසම විසින් අදාළ පැමිණිල්ලේ පිටපතක් අද විවෘත අධිකරණය විත්තියේ නීතිඥවරු වෙත භාර දුන්නේය.

    විත්තියේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩුවට පාදක වන පරිගණක සාක්ෂි වලට අදාල පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා විත්තියේ නීතිඥවරුන්ට අවසර දෙන ලෙස ද අල්ලස් කොමිසමට නියම කළේය. අනතුරුව නඩු විභාගය සැප්තැම්බර් මස නව වනදා ආරම්භ කිරීමටයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේ.

    2018 වසරේ මැයි මස 03 වන දා හෝ ඊට ආසන්න දිනයක කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකු ගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච් .කේ මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.

    ඒ අනුව, චෝදනා 24 ක් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති අතර එහි සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 46 දෙනෙකු නම්කර තිබේ.

    ලේඛන 41 ක් ද සාක්ෂි වශයෙන් එම නඩුවට අදාළව ඉදිරිපත් කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූලි 2019 12:53

    Latest News