ගෝඨාභයගෙන් අධිකරණයට වෛද්‍ය වාර්තාවක්

ජූනි 19, 2019

    හම්බන්තොට, මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමෙන් රජයට රුපියල් මිලියන තිස් 33.9 ක පාඩුවක් සිදු කිරිමේ චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නඩුව විභාගය ජුලි 26 වනදා තෙක් කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කර තිබේ.

    සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබිණ.

    නඩුවේ පළමු විත්තිකරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී නොසිටියේය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා මැයි 31 වනදා සිංගප්පූරුවේදී හෘද සැත්කමකට භාජන වී ඇති අතර ඔහු පසුගිය 09 වනදා රෝහලෙන් මුදාහැර ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණයට දන්වා සිටියේය. එදින සිට සති 06 ක් පුනරුත්ථාපන වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේ ක්‍රියාවලියේ නිරත වීමට සිදුව ඇති බැවින් ජූලි 22 වනදා දිවයිනට පැමිණෙනු ඇතැයි ඔහු පැවසීයීය.

    මෙම නඩු විභාගය ආරම්භ කිරීමට තම සේවාදායකයා අධිකරණය පෙනී සිටීම සාධාරණ නඩු විභාගයකට වැදගත් වන බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුනී. ඒ අනුව ඔහු දිවයිනට පැමිණීමෙන් පසුව නඩු විභාගය ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ බව තහවුරු කෙරෙන වෛද්‍ය වාර්තා ද ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.

    ඊට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නිතිඥ වසන්ත පෙරේරා මහතාගෙන් විරෝධය පළ නොවීය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩුවේ විභාගය ජූලි 26 තෙක් කල් දැමූ අතර සාක්ෂි දීමට එදින අධිකරණය පෙනී සිටින්නැයි සාක්ෂිකරුවන්ට අවවාද කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගතවීමට ලබාදී තිබූ අවසරය ජූලි 24 වනදා තෙක් දීර්ඝ කිරීමට ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා කළ ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊට අවසර ලබා දුන්නේය.

    ඉකුත් රජය සමයේ හම්බන්තොට, මැදමුලන ප්‍රදේශයේ ඩී .ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමෙන් රජයට රුපියල් මිලියන තිස් 33.9 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපති විසින් මෙම නඩුව පවරා ඇත.

    Last modified on බදාදා, 19 ජූනි 2019 19:08

    Latest News