එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා 2 වැනි ප්‍රදර්ශනය අද අනුරාධපුරයෙන්... (වීඩියෝ)

ජූලි 24, 2019

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දෙවන ප්‍රදර්ශනය අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ දී අද ආරම්භ වෙයි.

    ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම හා රජයේ සංවර්ධන කාර්යයන් ජනතාවට වඩාත් සමීපකරවීම ප්‍රදර්ශනයේ අරමුණයි. උරුමය - සමගියයි යන්න මෙවර තේමාවයි. ප්‍රදර්ශනය අද පෙරවරු 9.30ට අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව මහජනතාව සඳහා විවෘත කෙරේ. රජරටින් ව්‍යවසායකයින් 20,000ක් බිහි කිරීම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණයි.

    ව්‍යවසායකත්ව අපේක්ෂාවන් සහිත ප්‍රදේශයේ තරුණ - තරුණියන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට අවශ්‍ය සේවා පහසුකම් ලබාගැනීමට හැකිවන අයුරින් කලාප 7කට වෙන්කර තිබේ. ඒ ව්‍යවසායකත්ව කලාපය, රාජ්‍ය හා පෞද්ගලික අංශ කලාපය, අධ්‍යාපන අංශ කලාපය, හරිත කලාපය, නව නිපැයුම් කලාපය, වාණිජ කලාපය හා මාධ්‍ය කලාපය ලෙස ඒවා නම්කර තිබේ. ව්‍යවසායකත්ව කලාපය මගින් තරුණ ප්‍රජාවට සිය ව්‍යවසායකත්ව අපේක්ෂාවන් ව්‍යාපාරයක් බවට පත්කර ගැනීමට උපදේශකත්වයන්ගේ සිට එය ආරම්භ කිරීමට පොලී සහන ණය ලබාගැනීම සඳහා සුදුසුකම් ලබාගැනීම දක්වා සියලු කටයුතු එකම ස්ථානයක දී සිදුකර ගැනීමට අවස්ථාව හිමිවෙයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා සියලු රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ණය යෝජනා ක්‍රමයට අදාළ සියලු නිලධාරීන් හමුවීමට අවස්ථාව ලැබීම විශේෂත්වයක්.

    Last modified on බදාදා, 24 ජූලි 2019 20:21

    Latest News